එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

මේ හරහා ඇමතිධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමට ඔවුන් කටයුතු කරන බවත් එය පාර්ලිමේන්තුවේදී පරාජය කරන බවත් ඔහු පැවැසීය. මහරගම ඊයේ (15දා) පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැළියේදි ඔහු මේ බව පැවැසීය.

“රාජපක්ෂ කියන්නේ ප්‍රබන්ධයක්. රාජපක්ෂ කියන්නේ ඇත්තක් නෙමෙයි. මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් රාජපක්ෂ ප්‍රබන්ධයේ විශාල කාර්යයක් ඉටුකළා.

මහින්දට ඉල්ලා අස්වෙන්න අගමැතිකමක් තිබුණේ නෑ. නොවැම්බර් 14 විශ්වාසභංගයේදී ඔහු පරාජය වුණා. දැන් ජාතික ආණ්ඩුව අවසන්. දැන් අමාත්‍යධූර සංඛ්‍යාව 48 සිට 30ට අඩු කරන්න ඕන.

අමාත්‍යධුර 48 ඇතුළේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යධූර 33ක් තිබුණා. දැන් අලුත් ආණ්ඩුව යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු 33 දෙනාගෙන් තුන් දෙනෙකුට නැතිව යනවා. තව මෛත්‍රීගාව හිටපු 21 දෙනාම කථා කරනවා. මේ පැත්තෙන් කියනවා 21 දෙනාම එපා කියනවා. ඊට පස්සේ කියලා තියෙනවා 15ක් එන්නම් කියලා.

දැන් මේ පැත්තෙන් කියලා තියෙනවා 15ත් වැඩියි කියලා. මේ පැත්තෙන් කියනවා 10ක් විතර හිටියොත් ඇති. 103ක් ඉන්නවා 113ක් හැදෙනවා. එන හැම කෙනාටම ඇමතිකම් දෙන්න වෙනවා.

113 හදාගන්න ප්‍රමාණයට ඇමතිකම් දෙන්න ඕන. අපේ රටේ 19 හිල් මෛත්‍රීපාල සිරිසේනත් හෙව්වා. 19 හිල් මහින්ද රාජපක්ෂත් හෙව්වා. 19 හිල් කියන්න කනගාටුයි නීතිපතිතුමත් හෙව්වා.

අද ඉදන් 19 හිල් හොයන්නේ රනිල් වික්‍රමසිංහ. 19 හිලක් තියෙනවා. ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියන එක ගැන 19 හිලක් තියෙනවා.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩිම ආසන ගත් පක්ෂය. තව එකක් තියෙනවා. මුස්ලිම් කොංග්‍රසය වෙනම ඉල්ලා එකක් තියෙනවා. එහෙනම් යූ.ඇන්.පී. එකයි මුස්ලිම් කොංග්‍රසයයි එකතු වුණාම ජාතික ආණ්ඩුවක්.

ජාතික ආණ්ඩුව අනුව ඇමතිධූර 30 වැඩි කරන්න පාර්ලිමේන්තුවට එන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහට කියනවා ඇමතිධූර වැඩි කරගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවට එන්න ඇමතිධූර වැඩි කරන එක පරාජය කරන්න අපි සූදානම්.”