පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ පැවැති අතර එහිදී මෙම තීරණයට එළඹුනු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පැවසුවේ.

මෙම සාකච්ඡාවට දයාසිරි ජයසේකර සහ නිමල් සිරිපාල ද සිල්වා යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද එක්ව සිටි බවද විමල් වීරවංශ මන්තී‍්‍රවරයා සඳහන් කළා.

මෙම සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “අපි අනාගතයේ හැම ජවනිකාව දිහාම බැලුවා.. නඩු තීන්දුව එන්නේ කවද්ද?.. අපේ පැත්තට ඒවිද?.. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපි දාන ඇපෑල ගැන..12 වැනිදා ඉදිරිපත් කරන යෝජනාව නිසා උද්ගතවන කරුණු ආදිය තමයි අපි අවධානයට ගත්තේ. පාර්ලිමේන්තුවක් රැස්වෙන්න බෑනේ ආණ්ඩු පක්ෂයක් නැතුව.. රනිල්ගෙ සභාවෙන් ගේනවා.. ඉල්ලීමක්. අගමැතිධූරයට එයාව පත් කරන්න කියලා. කොහොම වුණත් අපිට පාර්ලිමේන්තු යන්න වෙනවා නේ..ජනවාරියේ හරි.. ඒවා ගැන තමයි කතා කළේ. අපි 113 න ගණන් කළා.  113 ගණන් කළාම.. ඒ කිට්ටුවටම එනවා.” යනුවෙනි.

මෙම සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් සිරිපාල ද සිල්වාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්ණ කළා. එහිදී මෙම සාකච්ඡාව අභ්‍යන්තර සාකච්ඡාවක් බවත් එහි කරුණු අනාවරණය කළ නොහැකි බවත් සඳහන් කළා.