පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය පිටපිටම හතරවන දිනටත් අද (07) සිදු කිරීමට නියමිතය. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

අද දිනයේ  මෙම නඩුවේ තීන්දුව ලබා දෙනු ඇතැයි ඇතැම් පිරිස් විශ්වාසයෙන් පසුවනවා. එහෙත්, පාර්ශවකරුවන් විසින් තවදුරටත් කරුණු දැක්වීම් සිදු කෙරෙන බැවින් අද දිනයේද නඩුවේ තීන්දුව ලබා දීම සිදු නොවනු ඇති බවට තවත් පාර්ශවයක් විසින් අදහස් දක්වා සිටිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ අද දිනයේ නඩු තීන්දුව ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිව තිබෙනා කාල සීමාව ප්‍රමාණවත් නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

මෙම නඩුව ඊයේ (06) කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින්, මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝගයද හෙට දිනය දක්වා දීර්ඝ කෙරුණා. ඒ සමග අදාළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කිරීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවට නිකුත් කෙරුණු අතුරු තහනමද හෙට දිනය දක්වා දීර්ඝ කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව ආරම්භ කළ පසු ප්‍රථමයෙන්ම පෙත්සම්කාර පාර්ශවයන් කරුණු දැක්වීම සිදු කළා. පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ඔවුන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නා. පසුව කරුණු දැක්වූ නීතිපතිවරයා පැවසුවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය තිබෙන බවයි. අදාළ ගැසට් නිවේදනය මගින් ජනතාවට පරමාධිපත්‍ය බලය කි‍්‍රයාත්මක කිරීම සඳහා ඡන්දයක් ලැබී ඇතැයිද නීතිපතිවරයා පෙන්වා දුන්නා. නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සිදු කෙරුණේ මැදිහත්කාර පාර්ශවයන්ගේ කරුණු දැක්වීමයි.