අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූරයන් දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දෙසැම්බර් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඇමති මණ්ඩලයට දෙසැම්බර් මස 12 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි අභියාචනාධිකරණය අද (03) නියෝග කර සිටියේ.

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති  බවට ප්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122 ගේ බහුතර සහයෝගයෙන් අවස්ථා දෙකකදී විශ්වාස භංග යෝජනාවන් මගින් සම්මත වී ඇති බැවින් එම කාරණය නොසලකා හැරීමෙන් රටට වන හානිය පිරිමැසිය නොහැකි බව අභියාචනාධිකරණය අවධාරණය කළා.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවට අවස්ථා දෙකකදී විශ්වාස භංග යෝජනාවන් මගින් සම්මත වී ඇති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

මෙම පෙත්සම ගොනු කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122ක් විසින්.