එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුව අද (03) පැවැත්වීමට නියමිතයි.

රාතී‍්‍ර 08.00ට ජනාධිපතිවරයා මුණ ගැසීමට සූදානම් බවයි එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් නෙත් නිවුස් වෙත කියා සිිටියේ. එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර ඉකුත් සතියේද සාකච්ඡාවක් පැවැත්වුණා.

එය විසඳුමකින් තොරව අවසන් වූ බැවිනුයි ඊයේ (02) දිනයේද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණේ. එහෙත්, අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාව ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ සාමාජික, දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අද දිනයේ මෙම සාකච්ඡාවෙන් විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ සාමාජික, සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුර්දීන් සඳහන් කළා.

නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත් කරන්නේ නම් ඊට සුදුස්සා රනිල් වික‍්‍රමසිංහ මහතා බව මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර හමුවක්ද අද පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් කියා සිටියේ දමිල දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙන බවයි.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (02) රාති‍්‍රයේ සිදුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත් සහ වාසුදේව නානායක්කාර මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ද එක්ව සිටි බව වාර්තා වනවා. හමුව සිදුවී ඇත්තේ ජනාධිපති නිල නිවසේදීයි.