මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යස්ථාන 4,661කදී  මෙවර විභාගය පැවැත්වෙන බවයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන්නේ දෙසම්බර් මස 12 වෙනිදායි.

මෙවර විභාගයට අයදුම්කරුවන් හය ලක්ෂ පනස් හය දහස් හයසිය හතලිස් එකක් (656,641) මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි. ඒ අතර පාසල් අයදුම්කරුවන් හාර ලක්ෂ විසි දෙදහස් අටසිය පනහක් (422850) වනවා. පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ තිස් තුන් දහස් හත්සිය අනූ එකක් (233791) ද මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා බන්ධනාගාර ගත රැඳවූවන් 12 දෙනෙකු අයඳුම්කර ඇති අතර ඔවුන් මෙවර විභාගය පෙනී සිටීම සඳහා සූදානම්ව සිටියි. මෙසේ සූදානම්ව සිටිනු ලබන්නේ වැලිකඩ හා කොළඹ මැගසින් බන්ධනාගාරයෙහි නේවාසික රැඳවූවන් කිහිප දෙනෙක් බවයි වාර්තා වන්නේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවූවන් 11ක් ද, කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් එක් රැඳවූවෙක්ද මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා පෙනී සිටිනු ඇත. මෙම මැගසින් බන්ධනාගායෙන් මෙම විභාගය සඳහා පෙනීසිටීමට සූදානම්ව සිටින රැඳවියා දමිළ මාධ්‍යයෙන් පෙනී සිටියි.

මෙලෙස විභාගය අයඳුම්කරන ලද බන්ධනාගාර රැඳවූවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථානයක් කොළඹ මැගසින් බන්ධනාගාරය තුල ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යෙදා ඇති බව සදහන්.

මේ අතර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් උපදෙස් අඩංගු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව විභාග අපේක්ෂකයින් විභාගය පෙ.ව. 8.30ට ආරම්භ වන බැවින් පෙ.ව. 8.00 වන විට සිය අනන්‍යතාවය හෙළි කිරීම සදහා විභාග අයදුම්පත සහ ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය යොදා ගත හැකි බව දන්වා සිටිනවා.

එමෙන්ම අයදුම්කරුවන් ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදුකරන්නේද යන්න ගැන පිලිබදව විශේෂ අවධානයකින් පසුවන ලෙස සියළුම ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවත් එවැනි වරදක් කර හසුවන අයෙකුට වසර 05 ක් ගත වන තෙක් යළි විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන කිසිදු විභාගයට පෙනී සිටීමට නොහැකි වන ලෙස තහනමක් පනවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සිය නිවේදනය මගින් කරුණු දන්වා සිටිනවා.