බහුතරය තිබුනද තමන්ගේ ජිවිතයේ කිසිදු අවස්ථාවක යළි රනිල් වික්‍රමසිංහ මෙරට අගමැතිවරයා බවට පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. විදෙස් මාධ්‍යවේදීන් හා ජනාධිපතිවරයා අතර අද (25) පැවති හමුවකදී මේ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

” එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුනත් මම ඔවුන්ට කිව්වා රනිල් වික්‍රමසිංහව මගේ ඉදිරියට රැගෙන එන්න එපා කියලා, මම ඔහුව යළි අගමැතිධුරයට පත් කරන්නේ නැහැ, ජනාධිපතිවරයා කියා සිටියා. ඔක්තෝම්බර් 26 වෙනිදා අගමැතිධුරයෙන් රනිල් වික්‍රමසිංහ නෙරපීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔහු සිදුකළ දුෂණ හේතුවෙන් බවයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

2015 වසරේ සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ සිදුකළ දුෂණ වංචා විමර්ෂණය කිරීමට තමන් කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී විදෙස් මාධ්‍යවේදීන් සමග පවසා ඇත.

” ඉකුත් පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණය පරාජය වීමෙන් පසු මම මේ ස්ථානයේදීම ඔහුට කියා සිටියා ඔබගේ ආර්ථික ප්‍රතිපත්ති දුර්වල වීම නිසා මෙම තත්ත්වය අත්වුණා කියලා. ඒ නිසා අගමැතිධුරයෙන් අයින් වෙන්න කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ එය පිළිගත්තේ නැහැ. ඔහු දුෂිතයෙක් වගේම, ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ නැහැ” ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර මහින්ද රාජපක්ෂ සමයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමේ වගකීම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක විසින් දැරිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියා.

මෙවැනි සිදුවීම් නිසා තමන් හා රනිල් වික්‍රමසිංහ අතර මත ගැටුම් 100 වතාවක් පමණ සිදුවූ බවත් එය කැබිනට් මණ්ඩලයට පවා රහසක් නොවූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.