උසස් පෙළ පාසල් සිසුවෙකුට ඊයේ (24) දහවල් මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී උපකාරක පංතියක් ආසන්නයේ සිදු කරන ලද පිහි ඇනුමෙන් පසු එම පිහි ඇනුමට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනා මේ වන විට අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ සැකකරුවන් අදාළ ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.

අපරාධය සිදු කළ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවත් සඳහන්.

ඊයේ දහවල් සිදු වූ මෙම පිහි ඇනුමෙන් වයස අවුරුදු 19ක් වූ රසිඳ ගිම්හාන් නැමැති සිසුවෙකු මිය ගිය අතර ඔහු සමග සිටි තවත් සිසුවෙකු තුවාල ලැබුවා.

ඝාතනය වූ සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දින සිදු කිරීමට නියමිතයි.