පසුගිය කාලයේ සන්ධානයට එක් වූ ජාතිවාදී පක්ෂ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා පක්ෂයේ ප්‍රතිපත්තිවලට විශාල හානියක් සිදු වූ බවත්, මේ පිළිබඳව අවධානය යොමු කරන විට විමල් වීරවංශ මහතා ගේ ඉවත්වීම කාලෝචිත බව ද මහලේකම්වරයා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ අත්වැල් බැඳ ගැනීමට පක්ෂ රැසක් කැමැත්ත පළ කර තිබෙන බව පවසන මහින්ද අමරවීර මහතා මේ වන විට එම පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරන බවත් ඒ අනුව ඉදිරියේ දී දැනටත් වඩා ශක්තිමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයක් බිහිවනු ඇතැයි ද අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ගිය අය පක්ෂය හෝ සන්ධානය හැර දමා යන බවත් මේ අයට එම පාක්ෂිකයන්ගේ ඡන්ද නැවත කිසි දිනක නොලැබෙන බව පෙන්වා දෙන මහලේකම්වරයා පෞද්ගලික වාසි තකා සන්ධානය හැර යන අයට එම පාක්ෂිකයන් ඉදිරි මැතිවරණවල දී නිසි පිළිතුරු ලබා දෙනු ඇතැයි ද කියයි.

පක්ෂය හැර යන අයට ඉදිරි මැතිවරණවලදී ‘තමන් ගේ තරම’ දැන ගැනීමට හැකිවනු ඇතැයි ද මහලේකම්වරයා පවසයි.