ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවසන් පන්දුවාර තුන තුළදී ලකුණු 50 ක් සොරාගත් අසේල ගුණරත්න ශ්‍රී ලංකාවට නොතිබූ විස්සයි20 තරග ජයක් ලබාදීමේ පුරෝගාමියා වෙමින් දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 02ක ජයක්ග්‍රහණයක් කරා මෙහෙයවීය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 174ක ඉලක්කය හඹාගිය ලංකා කණ්ඩායම වරෙක ලකුණු 40කට කඩුලු 05ක් බිඳවැටී දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබුණු අතර, චාමර කපුගෙදර, සීක්කුගේ හා නුවන් කුලසේකර සමග සබඳතා පවත්වමින් අසේල ගුණරත්න ලංකාවට ජය ලබාදුන්නේය. අසේල ගුණරත්න සිය විස්සයි20 ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස අද (19දා) දිනයේ නොදැවී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ හේතුවෙන්

අසේල මෙම තරගාවලිය තුළ ලැබූ දෙවැනි අර්ධ ශතකය හා දෙවැනි තරගයේ වීරයා සම්මානය මෙය වේ. අසේලගේ දක්ෂතා හේතුවෙන් ලංකාව මේවනවිට තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය තරග 2-0 ලෙස ජයගැනීමට සමත්ව සිටියි.ලංකා ජයක්ග්‍රහණය අවසන් පන්දුව දක්වා ප්‍රමාද වූ අතර, අලංකාර හතරේ පහරකින් ශ්‍රී ලංකාවට තරගාවලි ජය ලබාදීමට අසේල සමත්විය. මෙම තරගාවලියත් සමග ලංකාව අඛණ්ඩව විස්සයි20 තරගාවලි ට්‍රිත්වයක ජය ඔස්ට්‍රේලියානු බිමේදී වාර්තා කරගැනීමට සමත්ව සිටියි.

කාසියේ වාසිය දිනාගත් ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් ඔස්ට්‍රේලියානුවන් පළමුව පන්දුවට පහරදීමට සිදුවිය. ඒ අනුව ඔවුහු නියමිත පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 173ක් රැස් කළහ. වොයිසස් හෙන්රික්ස් නොදැවී ලකුණු 56ක් වාර්තා කළ අතර, මයිකල් ක්ලින්ගර් ලකුණු 43ක් රැස් කළේය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසාන භාගය පාලනය කරමින් ලකුණු 31කට කඩුලු 04ක් දවා ගැනීමට නුවන් කුලසේකර සමත්විය. මෙය ඔහුගේ විස්සයි20 ක්‍රිඩා දිවියේ හොඳම පන්දු යැවීමද වේ. ඔහුට අමතරව විකුම් සංජය (2/32) හා ලසිත් මාලිංග (2/31) කඩුලු 02 බැගින් දවාලූහ.

විස්සයි20 තරගාවලියේ ජය මේවනවිට ලංකාව සතුවී ඇති අතර, තරගාවලියේ තෙවැනි හා අවසන් විස්සයි 20 තරගය එළඹෙන 22 වැනිදා ඇඩිලේඩ් ඕවල් ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.

 

https://youtu.be/PW1u6zUzHT0