කළුතර කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

බේරුවල ප්‍රදේශයේ දේවස්ථානයක තිබූ ආගමික උත්සවයකට සමගාමීව බේරුවල සිට කළුතර දක්වා  ගමන් කළ බෝට්ටු පෙරහැරක එක් බෝට්ටුවක්
කටුකුරුන්ද ප්‍රදේශයේ මුහුදේ දී අද පෙරවරුවේ අනතුරට විය.

අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ.

ධීවර කටයුතු සදහා යොදගන්නා ටෝලර් යාත්‍රාවක් මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරෙන් මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ සිරුරු මේ වන විට නගොඩ සහ බේරුවල රෝහල් වෙත ගෙනවිත් තිබේ.

ඒ අතර කුඩා දරුවෙකු සහ කාන්තාවන් අට දෙනෙකු ද වන බව පොලීසිය සදහන් කළේය.

එම යාතාවේ ගමන්ගත් තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු මේ වන විට බේරාගෙන තිබේ.

ඔවුන් ද නාගොඩ සහ බේරුවල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන්  වේ.

අනතුරට පත් යාත්‍රාවේ සිටි පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදාව සහ නාවික හමුදාව ද සහය පල කළේය.

ගුවන් හමුදාවේ බෙල් 212 හෙළිකොප්ටර් යානයක් මෙම මෙහෙයුම් සදහා යෙදවූ අතර නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා 5ක් ද මෙහෙයුම් කටයුතු සදහා යොදවනු ලැබුවා.

තවදුරටත් සිය මෙහෙයුම් කටයුතු සිදුකරන බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම අනතුරට හේතුව නිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම බව ද  චමින්ද වළාකුළුගේ මහතා සදහන් කළේය.