ප්‍රශ්නය – ජනවාරි 26 සෙනසුරු මාරු වුණා. ඒ එක්‌කම කුජ සිකුරු මාරු වුණා. මේ ගැන ජනතාව හිටියේ කුතුහලයෙන්. සෑම මාධ්‍යයකම වාගේ සෙනසුරු මාරුව ගැන ගොඩක්‌ කතා කළා. බොහෝ දෙනෙක්‌ බය වෙලා. ඔබ හිතන්නේ කොහොමද මේ ගැන ?

පිළිතුර – අවුරුදු දෙකහමාරකට ආසන්න කාලෙක තමයි සෙනසුරු මාරුව සිද්ධ වෙන්නේ. සෙනසුරු ඒරාෂ්ටක අපල තිබුණ අය ඒක ඉවර වෙයිද කියල කල්පනා කරනවනේ. අපල ලබපු අය හිතත්නේ මොනවා වෙයිද කියලා. සමහර අය කේන්දර බලලා බය කරන බවක්‌ පේනවා. කෙහොමත් බොහෝ දෙනෙක්‌ සෙනසුරු අපලයට බයයි.

ප්‍රශ්නය – සමහරු කියන්නේ අහසේ ඉන්න ග්‍රහයෝ මිනිස්‌සුන්ට අපල කරනව කියන එක මිථ්‍යාවක්‌ කියලා. ඒ වුණත් ග්‍රහ අපල කාලවලට නොයෙක්‌ විපත් සිද්ධ වෙනවා නේද?

පිළිතුර – ග්‍රහ අපලවලදී නොයෙක්‌ විපත් සිදුවන බව බොහෝ දෙනෙක්‌ අද්දැකීමෙන් දන්නවනේ. අහසේ ඉන්න ග්‍රහයෝ මිනිස්‌සුන්ට අපල කරන්නේ නෑ තමයි. සෙනසුරු පාපයෙත් කුජ හයෙත් තියනවා. මේ ග්‍රහ ලෝක කරලා තියන පව මොකක්‌ද? ඒක තමයි මිථ්‍යාව. පාප ග්‍රහයෝ කියන්නේ අපි කරපු පව් පෙන්වන නිසයි. ග්‍රහ අපල කියන්නේ අපි කරපු පව් පල දෙන එකටයි.

ප්‍රශ්නය – ඔබ කියන්නේ කර්ම විපාක ගැන ද?

පිළිතුර – ඔව්.. ඔව්… අපි ඉපදෙන කොටම අරන් ආපු පින් පව් තියෙනවා. මේ පව් පලදෙන එකටයි අපල කියන්නේ. පව්පල දෙන කාලෙ දැනගන්න තියෙන එකම ලෞකික විද්‍යාව තමයි ජ්‍යෙdaතීර් විද්‍යාව. සෙනසුරු අපල කියන්නේ විශේෂයෙන් අනිත් අය පීඩාවට පත් කරපු එකේ අකුසලකර්ම. සේවකයන්ට නොසැලකීම, වැටුප් නොදීම, වගේ දේවල්.

ප්‍රශ්නය – කුජ අපලෙකදී හදිසි අනතුරු සිද්ධ වෙන්න පුළුවන් කියනවා. ලේ ගැලීම් ලේ විෂවීම් වගේ දේවල්?

පිළිතුර – ඔව්.. අපි පෙර ආත්මෙක කාටහරි පහරදීලා, ලේ හැලෙන්න අනතුරු කරලා තියෙනවා නම් ඒක ආපසු අපි කරා එන්න පුළුවන්. ඒ කුජ අපල කාලෙක. හැම ග්‍රහ අපලයක්‌ම එන්නේ ඒ විදිහට.

ප්‍රශ්නය – ජ්‍යෙdaතිෂයේදී අපල දුරුකරන වත් පිළිවෙත් තියනවා නේද? යන්ත්‍ර පැළදීම, මැණික්‌ පැළඳීම වගේ දේවල්. මේවායින් අපල දුරු කර ගන්න පුළුවනි ද?

පිළිතුර – යන්ත්‍ර පැළඳීම අපල දුරු කරන ශාන්ති කර්මයක්‌ තමයි. හැබැයි ඒක ගැනත් ගැටලු තියෙනවා. අපලයක්‌ හැම විටම උදාවෙන්නේ ග්‍රහයෝ කීප දෙනෙක්‌ගේ බලපෑම නිසයි. සෙනසුරු අපල කරන්නේ තවත් ග්‍රහයෝ දුර්වල වෙනකොට. ඒ වුණත් සෙනසුරු අපලෙට දාන යන්ත්‍රයකින් වෙනත් ග්‍රහ අපල අඩුවෙන්නේ නෑ. අනික මේ යන්ත්‍ර විද්‍යාව පුළුල් විෂයක්‌ ඒ ගැන හො`ද දැනුමක්‌ තියෙන අය යන්ත්‍ර හදන්න ඕන. කිල්ල නිසා බලය බිඳෙන එකත් යන්ත්‍ර වල ගැටලුවක්‌.

ප්‍රශ්නය – ඒ වුණාට මැණික්‌වලට කිල්ල වදින්නේ නෑ කියල මතයක්‌ තියෙනවා නේද?

පිළිතුර – ඒක ඇත්ත. මැණික්‌ පැළඳීමත් ග්‍රහ අපලවලට කරන දෙයක්‌. ඒ වුණත් අපලයට අදාළ මැණික මොකක්‌ද කියන එක ගැන තවම වාද විවාද තියෙනවා. සෙනසුරුට හිමි මැණික කාකනිල් මැණික. බොහොම අය සෙනසුරුට කාකනිල් දානවා. ඒ වුණත් මේ නිසා අපල වැඩිවෙනවා කියලත් මතයක්‌ තියෙනවා. දාන්න ඕන අපල කරන ග්‍රහයට හිමි මැණික ද? නැත්නම් බලවත්ම ග්‍රහයට හිමි මැණිකද කියන එක ගැන වාද විවාද තියෙනවා.

ප්‍රශ්නය – නියම මැණික තෝරා ගැනීමත්, පළුදු නැති මැණිකක්‌ වීමත් අවශ්‍යයි නේ ද?

පිළිතුර – ඔව්… ඔව්.. පලුදු තියන මැණික්‌ අඟුණයි. හරියට ඇස්‌ කණ්‌ණාඩිය පලුදු වුණා වගේ. එතකොට තියෙන ටිකත් පේන්නේ නැහැ නේද ? ලොකුම ප්‍රශ්නය තමයි නියම මැණිකක්‌ මිල අධිකයි. ඉහළ මිලක්‌ ගෙවල ගත්තත් ඕක රත්තරන් මුද්දක අල්ල ගන්න තවත් ලොකු ගාණක්‌ යනවා. මේක සාමාන්‍ය කෙනකුට දරාගන්න අමාරුයි.

ප්‍රශ්නය – ග්‍රහ අපලවලට විදේශ ගත වෙන එක හරිද? රට ගියාම අපල අඩු වෙනවා ද?

පිළිතුර – සෘතු විපර්යාසය නිසා සෞඛ්‍යයට විතරක්‌ බලපාන්න පුළුවන්. ඒ වුණත් පාප කර්මවලින් මිදෙන්න අහසේවත්, පර්වත කුහරයකවත් හැංගිලා බෑ කියලයි ධර්මයෙන් කියල තියෙන්නේ.

ප්‍රශ්නය – ග්‍රහ අපලවලට බෝධි පූජා තැබීම ගැන මොකද කියන්නේ ?

පිළිතුර – බෝධි පූජාව හො`ද පිංකමක්‌. ග්‍රහ අපලයකදී ග්‍රහයට අයිති පාටින් කොඩි වැල් පූජා කිරීම ග්‍රහයට හිමි අංකයට අනුව පහන් දැල්වීම වගේ දේවලුත් කෙරෙනවා. සමහර අය කපුටෙක්‌ගෙ රූපයක්‌ ඇ`දල අපලකාරයගේ නම ලියල බෝධියේ එල්ලනවා. මේdවා නම් මොනවද කියල අපිට තේරෙන්න් නෑ. බෝධි පූජාවෙ නාමයෙන් බෝධියට හානි කරන එක පවක්‌.

ප්‍රශ්නය – තමන් අදහන ආගම අනුවත් ග්‍රහ ශාන්තිකර්ම වෙනස්‌ වෙනව ද?

පිළිතුර – ආගම් කියන්නේ සංවිධාන. ඒවයේ එක එක චාරිත්‍ර තියෙනවා. ඒ වුණත් සත්‍යය නම් එකයි. කරන දේවල්වල විපාක ලැබෙන එක සත්‍යයක්‌. ඒකට ආගමක ලේබලය අවශ්‍ය නෑ. බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කළේ අමුතු දෙයක්‌ නෙවේ. තිබෙන සත්‍යය මතුකර දීමයි. හැබැයි සත්‍යය හැම විටම හැමෝටම පේන්නේ නෑ.

ප්‍රශ්නය – හො`දයි. එහෙම නම් ග්‍රහ අපලවලට කාටත් පිළිගන්න පුළුවන් විදිහේ ශාන්ති කර්මයක්‌ තියෙනවා ද?

පිළිතුර – ඇයි නැත්තේ. ග්‍රහ අපල තියනකොට හිතට ප්‍රශ්න වැඩියි. ඔබට නින්ද යන්නේ නැති වෙයි. උදේට ඇහැර ගන්නත් අමාරු වෙයි. මිනිස්‌සු ඔබ දාලා යයි. ජනප්‍රියකම නැතිවෙයි. භූත දෝෂ, වින දෝෂ එයි. සමහර විට අවි ආයුධවල පහරකෑම්වලට ගොදුරු වෙයි. මේවා නේද අපල කියන්නේ…?

ප්‍රශ්නය – හිතේ චංචල බව, නින්ද නොයැම සතුරු කරදර වගේ දේවල් යටපත් කරන්න ඔබ කියන විශේෂ ග්‍රහ ශාන්තිකර්මය මොකක්‌ ද?

පිළිතුර – ඒක තමයි මෛත්‍රී භාවනාව. ශ්‍රී ලංකාවේ මිනිස්‌සුන්ට මේ තරම් වටිනා දහමක්‌ තිබිලත් ඒ ගැන අවධානයක්‌ නැති එක පුදුමයි කියල බටහිර විද්වතුන් විතරක්‌ නෙවේ ඉන්දියාවේ උගතුන් පවා කියනවා.

ප්‍රශ්නය – භාවනාවටත් කාලයක්‌ ඕන නේද? අද බෙහොම දෙනා කාර්යබහුලයි. හැම වෙලාවෙම වැඩ. ඉතිං භාවනාවට කාලය නෑ කියලයි කියන්නේ.

පිළිතුර – ධර්මය ගැන කතා කරනකොට භාවනාව ගැන තමයි මේ කාලේ ගොඩක්‌ වැරදි මත තියෙන්නේ. සමහරු හිතන්නේ ගිහි ජීවිතෙන් පැනලා ගිහිල්ලා කැලේකට වෙලා එරමිණිය ගොතාගෙන නිශ්ශබ්දව කරන වැඩක්‌ කියලා. ඒක එහෙම නෙවේ. ඔබට හුස්‌ම ගන්න වේලාවක්‌ තියෙනවා නම් භාවනාවටත් වේලාවක්‌ තියෙනවා.

ප්‍රශ්නය – ඔබ කියන විදිහට මෛත්‍රී භාවනාව කරන හැටි පැහැදිලි කරන්න පුළුවන්ද?

පිළිතුර – නින්දට යන වේලාවෙත් උදේ අවදිවෙන වේලාවෙත් නිදාගන ඉන්න ඇෙ`ඳ්ම ඉඳගන්න. කිසිම අමාරු ඉරියව්වක්‌ – යෝග ව්‍යායාමයක්‌ නෙවේ. පහසුවෙන් ඉ`දගන්න. හුස්‌ම ගැන මෙනෙහි කරන්න. ඊට පස්‌සේ මම සුවපත් වේවා. අන් අය සුවපත් වේවා. ආයමත් මම සුවපත් වේවා. අන් අය සුවපත් වේවා ඔය විදිහට හිතන්න. මුලින්ම තමන් කැමතිම මව පියා වැනි කෙනකුට මෙත් වඩන්න පුළුවන්. ”මම සුවපත් වේවා” අම්මා සුවපත් වේවා” වගේ සරල වාක්‍යයක්‌. ඊට පස්‌සේ මම සුවපත් වේවා අන් අය සුවපත් වේවා.

මේ වගේ හිතන්න. හැබැයි හිතවත් අය, අහිතවත් අය, මිතුරෝ ද සතුරෝ ඔය විදිහට බෙදන්න යන්න එපා. ”සබ්බේ සත්තා භවන්තු සුතත් ත” කියලයි කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ. ඒ කියන්නේ මම වගේම සියලු සත්වයෝ සුවපත් වේවා කියන එක.

ප්‍රශ්නය – එච්චර ද? ඊට පස්‌සේ ?

පිළිතුර – නෑ.. නෑ.. අන්තිමට සුවපත් වේවා. සුවපත් වේවා කියලා විතරක්‌ හිතන්න. ඇඳෙන් බැහැල යන වේලාවේ ඉඳලා හැම වේලාවෙම ”සුපවත් වේවා” කියන එක හිතෙන් මුමුණන්න.

ප්‍රශ්නය – දවසේ අනික්‌ වැඩ එක්‌කත් එහෙම කරන්න පුළුවන් ද?

පිළිතුර – කරල බලන්න. ඔබ වෛද්‍යවරයෙක්‌ නම් රෝගියා ළ`ගට එනකොටම සුවපත් වේවා කියලා හිතන්න. ගුරුවරු ශිෂ්‍යයා ළ`ගට එනකොට පන්තියට යනකොටත් එහෙම හිතන්න. වාහනේ එළවනකොටත්, පයින් යනකොටත්, වෙනත් ඕනෑම රැකියාවක්‌ කරන කොටත් මෙහෙම ”සුවපත් වේවා” යන අදහස පෙරදැරිව කටයුතු කරන්න පුළුවන්. ගෙදර හැම දෙනාම ගැනත්, රැකියා ප්‍රධානියා ගැනත් නැතිනම් සේවකයා ගැනත්, මතක්‌ වෙන ඉදිරියට එන හැමදෙනාම ගැනත් හැමවිටම ”සුවපත් වේවා” කියල හිතන්න. ඒක ඉරියව්වකින් වැඩි වේලාවක්‌ කළොත් මේක මහානුභාව සම්පන්න මන්තරයකට වඩා බලවත් වෙනවා. මහා බලයක්‌ ගොඩ නැඟෙනවා.

ප්‍රශ්නය – ග්‍රහ අපල දුරුවෙන්න මෛත්‍රී භාවනාව ප්‍රමාණවත් ද?

පිළිතුර – මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිශංස එකොලහක්‌ තියෙනවා. ඒව ධර්මයේ ස`දහන් වෙනවා. පළවැනිම දේ තමයි හො`දට නින්ද යනවා. ඒ වගේම හො`දට පහසුවෙන් අවදිවෙනවා. නපුරු හිත පේන්නෙ නෑ.

ප්‍රශ්නය – අනිත් ඒවත් කියන්න..

පිළිතුර – ”මනුස්‌සානං පියෝ හෝතී.” ඒ කියන්නේ ජනප්‍රිය වෙනවා. අපල නිසා සමාජයෙන් කොන් වෙන අය ඒකෙන් වළක්‌වනවා. ජනප්‍රිය බව කාටත් අවශ්‍යය නේ.

ප්‍රශ්නය – ඔව්.. වෙන මොනව ද?

පිළිතුර – අමනුස්‌සයන්ටත් ප්‍රිය වෙනවා. ඒ කියන්නේ නපුරු සතුන්ට වගේම භූත කොටස්‌වලට. දෙවියෝ රකිනවා. ආරක්‍ෂා කරනවා. මෛත්‍රී කරන පුද්ගලයන්ට දෙවියෝ කැමතියි. ඒ වගේම ගින්දරින්වත් අවි ආයුධයකින්වත් හානියක්‌ වෙන්නේ නෑ කියලත් කියලා කියනවා. ඊළ`ගට ඉක්‌මනින් හිත තැන්පත් වෙනවා. අනික තමා මුහුණ ලස්‌සන වෙනවා. අද මූණ ලස්‌සන කරන්න මිනිස්‌සු කොච්චර දේ කරනවද? ඒව වුවමනා නෑ. මෛත්‍රී කරන අයගේ මූණ ලස්‌සන වෙනවා. අන්තිමට කියන්නේ සුවදායක මරණයක්‌ උරුම වෙලා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා කියලා. ඔබට මේ ගැන වැඩි විස්‌තර අවශ්‍යනම් මෙත්තානිශංස සූත්‍රය බලන්න පුළුවන්.

ප්‍රශ්නය – මේක හරිම ප්‍රායෝගික සරල වගේම බලවත් දෙයක්‌ නේද?

පිළිතුර – ඔව්.. සත්‍යය හැම විටම සරලයි. මෛත්‍රී භාවනාව කරන්න ඕනම ආගමක්‌ අදහන කෙනකුට බාධාවක්‌ නෑ. හැබැයි සමහර විට මෛත්‍රී භාවනාව කියලා මහා දිග වාක්‍ය කියනවා ඇහෙනවා. ඒක එහෙම නෙවේ. ඔය කිව්ව වගේ කරන්න. ඔබට දිනපතාම ඒකේ සත්‍යය බලය පැහැදිලි වේවි. මේකෙන් පවුල්වල අසමගිය දුරුවෙලා සමගියත් ඇති වෙනවා. ග්‍රහ අපලවලට සතයක්‌වත් වියදම් නොකර තමන්ටම කරගන්න පුළුවන් සත්‍යම ශාන්ති කර්මයක්‌ තමා මේ කීවේ. කරලම බලන්න. ”සියලු සත්වයෝ සුවපත් වේවා” අපි හැමෝම හිතමු.

ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

සාකච්ඡා කළේ – ගයාන් සමරසිංහ