කුණු අප්‍රිකානුවන් හමුවේ ලකුණු අහේනියකට ලක්‌ව සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලි පරාජයේ පීඩනය කරමත තබා ගනිමින් සිව්වැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයට අද (07 දා) කේප් ටවුන්හී පිහිටි නිව් ලෑන්ඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. දිවා රාත්‍රි තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.

”මේක නවක කණ්‌ඩායමක්‌. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සහ කැපවීමෙන් පුහුණුවීම්වල සහ තරගවල යෙදෙනවා. ඔවුන් ඉදිරියේදී සාර්ථක වේවි.” යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ කළමනාකරු රන්ජිත් ප්‍රනාන්දු මහතා තවදුරටත් කණ්‌ඩායම පිළිබඳව විශ්වාසය පළ කර සිටියි.

තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරග තුනේදීම ලකුණු දෙසීයේ සීමාව පන්නා යැමට නොහැකි වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ එහිදී පිළිවෙලින් ලබා ගත්තේ ලකුණු 185, 186 සහ 163 ක්‌ පමණි.

zඅපි හොඳින් පුහුණුවීම් කරනවා. පිතිකරුවන් ලකුණු අතරට මේ තරගයේදී එයි. එහෙම වුණොත් හොඳ තරගයක්‌ අපිට ලබා දෙන්න පුළුවන්.” යෑයි ශ්‍රී ලංකා නායක උපුල් තරංග ඇතුළු කණ්‌ඩායම් කළමනාකාරීත්වය සෑම තරගයකටම පෙර පවසන එකම වදන බවට පත්ව තිබේ. නමුත් එය මේ වන විට බාලගිරි දෝෂයක්‌ බවට පත්ව තිබෙන අතර අද තරගයේදීද දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකාව පරාජයට ඇද දැමුවොත් ජාත්‍යන්තර එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්‌ථානයට පත්වේ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සියයෙන් පහළට වැටෙනු ඇත.

පිතිකරුවකු ලෙස කණ්‌ඩායමේ අතිරේකව සිටින්නේ පළමු තරගයේදී ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ සඳුන් වීරක්‌කොඩි පමණි. අද වීරක්‌කොඩිට යළිත් අවස්‌ථාවක්‌ හිමිවීමේ ඉඟි පහළව තිබුණ නමුත් ඔහුට කණ්‌ඩායමේ මැද පෙළ ස්‌ථානයකින් පන්දුවට පහරදීමට සිදුවන්නේ උපුල් තරංග සහ නිරෝෂන් දික්‌වැල්ල ආරම්භක පිතිකරුවන් ලෙස තරමක්‌ දුරට සාර්ථක සබඳතා පැවැත්වීමට ඉකුත් තරග දෙකේදී සමත්වීම හේතුවෙනි. එහිදී සචිත් පතිරණට ස්‌ථානය අහිමිවීමේ අවදානමක්‌ පවතින නමුත් අවසන් සංයුතිය තීරණය කරනු ලබන්නේ අද උදෑසන බව ශ්‍රී ලංකා කළමනාකාරිත්වය පවසයි.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සමඟ කිසිදු දිනක එක්‌දින තරගාවලියක සියලුම තරග ශ්‍රී ලංකාව මෙතෙක්‌ පරාජයට පත්ව නොමැති අතර එම අවමානයෙන් බේරීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවෝ අද පන්දු යවන්නන්ට සටනක්‌ දිය හැකි ලකුණු ප්‍රමාණයක්‌ එක්‌කර ගත යුතු වේ. දෙවැනි එක්‌දින ක්‍රිකට්‌ තරගය පැවැති ඩර්බන් තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිල කණ්‌ඩායමක්‌ වශයෙන් සහභාගි වූ පළමු පුහුණු සැසියට ඊයේ (06 දා) නිව්ලෑන්ඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී සහභාගි විය.

නිව්ලෑන්ඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකානුවන්ගේ එක්‌දින තරගවල ජයග්‍රාහී ප්‍රතිශතය 84.37% ක්‌ ලෙස සටහන් වීම ශ්‍රී ලංකාව දෙසින් අසුබවාදී සාමාන්‍යයක්‌ වුවද පිතිකරුවන් දක්‌වන දක්‌ෂතාව මත ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්‌ උදුරා ගැනීමට අපහසු නොවනු ඇත. දකුණු අප්‍රිකානුවන් නිව්ලෑන්ඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී සහභාගි වූ එක්‌දින තරග 32 කින් පරාජය වී ඇත්තේ තරග පහක්‌ පමණි. එම පරාජයන් ලබා ඇත්තේ ඔස්‌ටේ්‍රලියාවට තරග දෙකක්‌, ඉන්දියාවට, බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ පකිස්‌තානයට එක්‌ තරගයක්‌ බැගිනි. එහිදී ඔවුන් ජයග්‍රහණ 27 ක්‌ නිව්ලෑන්ඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී ලබා තිබේ. කේප් ටවුන් හි පැවැත්වෙන මෙම තරගය සඳහා වන සියලුම ප්‍රවේශපත්‍රද අලෙවි වී අවසන් බවට වාර්තාවේ.

”අපි තරග කරනවා බලන්න කේප් ටවුන්වලට විශාල ප්‍රේක්‍ෂකයන් සංඛ්‍යාවක්‌ එනවා. රෝස පැහැති තරගය ජය ගෙන අපි තරගාවලිය දින්නත් අපි උත්සහ කරන්නේ සියලුම තරග ජය ගෙන ශ්‍රී ලංකාව 5-0 ක පරාජයකට ඇද දමන්නයි. මම හිතනවා කොහොමත් 5-0 ක්‌ හෝ 4-1 කින් ජය ගන්න අපිට අවස්‌ථාව තියෙනවා කියලා.” යනුවෙන් දකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩිවිලියර්ස්‌ද ශ්‍රී ලංකා පිලට තවත් අනතුරු ඇඟවීමක්‌ කළේය.

උපුල් තරංගට පසුව ශ්‍රී ලංකා පිලේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල් අවසන් එක්‌දින තරග පහේදී පිළිවෙලින් ලබා ඇත්තේ ලකුණු 5, 1, 22, 36, 4 වශයෙනි. සුරංග ලක්‌මාල් මෙන්ම දකුණු අප්‍රිකාවේදී එක්‌දින වරම් ලැබු ළහිරු කුමාර සහ ළහිරු මධුෂංක තෙවැනි එක්‌දින තරගයේදී හොඳින් දකුණු අප්‍රිකානුවන්ව පාලනය කළද අත්‍යවශ්‍ය මොහොතේ ශ්‍රී ලංකා පන්දු රකින්නෝ උඩපන්දු අතහැරීම තරග පරාජය වීමේ තවත් පැතිකඩක්‌ බවට පත්ව තිබේ.