තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්‌ අවශ්‍යම මොහොතක අද (01 දා) ඩර්බන් හි පිහිටි කින්ග්ස්‌මේඩ් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව මුණගැසෙයි. දිවා රාත්‍රී තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.

පෝට්‌ එළිසබෙත් හි පැවැති පළමු තරගයෙන් කඩුලු අටක පරාජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව මෙම තරගයට පෙර දින දෙකක පුහුණු සැසියකට ඩර්බන්හිදී සහභාගි වූ අතර ඊයේ සවස්‌ වරුවේ කණ්‌ඩායම් දෙකම අවසන් පුහුණු සැසිවලට සහභාගි වූහ.

ශ්‍රී ලංකා සංචිතයෙන් වෙනස්‌කම් එකක්‌ හෝ දෙකක්‌ අද තරගයේදී සිදුවීමට නියමිතව තිබුණ ද ඒ කුමන වෙනස්‌කම් ද යනුවෙන් තරගයට පෙර තණතීරුව අනුව තීරණය කරන බව අනාවරණය විය. කෙසේ වෙතත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සචිත් පතිරණට අද තරගයේදී වැඩි අවස්‌ථාවක්‌ හිමිවීමට ඉඩ ඇති නමුත් තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්‌ වන චතුරංග ද සිල්වාට ද කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ හිමිවීමට බොහෝ දුරට ඉඩ පවතී.

ඩර්බන්හී වෙරළ ආසන්නයේ පිහිටා ඇති කින්ග්ස්‌මේඩ් ක්‍රීඩාංගණයට සුළං සහිත තත්ත්වයක්‌ පැවතීම හේතුවෙන් වේග පන්දු යවන්නන්ට අද තරගයේදී අතිරේක වාසියක්‌ හිමි වුවද මෙම තරගය පිතිකරුවන්ටද වාසිදායක බව එහි පැවැති අවසන් තරගවලදී දක්‌නට ලැබුණි. තණතීරුව පිළිබඳව අවධානය ඊයේ සවස පුහුණු සැසියෙන් පසුව යොමු කරන බව ශ්‍රී ලංකා නායක උපුල් තරංග පැවසීය.

සත්කාරක දකුණු අප්‍රිකානුවන් මෙහිදී සහභාගි වූ අවසන් එක්‌දින තරග හතර පිළිවෙලින් ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව පරාජය කරමින් සිටීම ශ්‍රී ලංකාවට තරම අවදානම් තත්ත්වයක්‌ව පවතී. කෙසේ වෙතත් ලකුණු අතර නොමැති දිනේෂ් චන්දිමාල් ඇතුළු පිතිකරුවෝ දියත් කරන පිති ප්‍රහාරය අනුව ශ්‍රී ලංකාවට මෙම තරගයේ වාසිය දෝතට ගැනීමට හැකි වනු ඇත.

ඩර්බන්හිදී ශ්‍රී ලංකාව මෙතෙක්‌ සහභාගි වී ඇත්තේ එක්‌ දින තරග දෙකකට පමණි. එම තරග දෙක ක්‍රීඩා කළ කිසිම ක්‍රීඩකයකු වත්මන් ශ්‍රී ලංකා සංචිතයේ නොසිටි නමුත් ශ්‍රී ලංකාව එහිදී එක්‌ තරගයක්‌ පරාජය වී දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයක්‌ ලකුණු සමවීමෙන් 2003 වසරේදී නිමා කර ගැනීමට සමත්ව තිබේ.

ඩර්බන්හිදී ජයග්‍රාහී ගමනක නියෑලී සිටින දකුණු අප්‍රිකානුවන් එහිදී සහභාගිවී ඇති එක්‌ දින තරග 39 කදී ජයග්‍රහණ 19 ක්‌ සහ පරාජයන් 10 ක්‌ ලබා තිබේ. තරග හතරක්‌ නොවිසඳුම් තරග සහ එක්‌ තරගයක්‌ සමවීමෙන් අවසන්ව ඇත.

ශ්‍රී ලංකාව සහභාගිවූ අවසන් එක්‌ දින තරග දහය තුළදී පරාජයන් හයක්‌ ලබන අතරවාරයේ ජය ලබා ඇත්තේ තරග හතරක්‌ පමණි. ඒ අනුව එක්‌ දින ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු ඉහළ දමා ගැනීමටද ශ්‍රී ලංකාවට මෙම තරගය සහ තරගාවලියේ ජය වැදගත් සාධකයක්‌ව පවතී.