මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ලියාපදිංචි වෙන වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි  කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ගොනු කළ රීට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව 31දා ලබාදුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, එස්. තුරෙයිරාජා යන මහත්වරුන් මෙම තීන්දුව ලබාදුන් අතර මල්ෂානි සුරවීරආච්චි හා දිලුම් සූරියආරච්චි යන සිසුන් දෙදෙනා මෙම රීට් පෙත්සම ගොනු කරනු ලැබීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමති හා උසස් අධ්‍යාපන ලේකම් යන පුද්ගලයින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් තමන් සතුටෙන් පසුවන බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

එම ආයතනයේ අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතාට තමාගේ සුබපැතුම් එක්කර සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය.

එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උපාධී ලබාදීමේ ආයතනයක් ලෙස සයිටම් ආයතනය ගැසට් කළේ තමන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ බවයි.

ඒ සඳහා රජයේසියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත් බවද ඒ මහතා කීය.

තමා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ඉංජිනේරු උපාධි ලබාදීමේ ආයතන 07කට සහ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 11කට උපාධි ලබාදීම සඳහා අවසර දෙමින් ගැසට් නිවේදන නිකුත් කළ බවද ඒ මහතා කියා සිටියේය.