ශ්‍රීලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට පටහැණිව සකස් කර ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි.

ලෝක බැංකුව රජයට දුන් වාර්තාවක් මගින් කරුණු දක්වා ඇත්තේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන ක්‍රමවේදය විගණකාධිපතිවරයා අනුගමනය කර නැති බවය. ශ්‍රි ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ විගණකාධිපති වාර්තාවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට විශේෂඥ දැනුමක් නැති බව සඳහන් කිරීම නිසා ඊට අදාළව අන්තර්ජාතික මතය විමසීම සඳහා ලෝක බැංකුවේ සහාය ගැනීමට රජය පියවර ගත් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

රජය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ලෝක බැංකුව විගණකාධිපති වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කර ඉහත නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි ද කිරිඇල්ල මහතා සඳහන් කරයි. 2016 ඔක්තෝබර් මස 28 දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෝප් කමිටු වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමුකර තිබිණි. ඔක්. 31 දා එය නීතිපතිවරයා වෙත ලැබී තිබුණු බව දැනුම් දී තිබිණි.