සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකා කණ්ඩායමක් පරාජය කර පළමුවරට විස්සයි20 තරගාවලියක් ජයගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදි මීට ඉහතදී ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 තරගාවලියක් ජයග්‍රහණය කර නොමැත.

නිව්ලෑන්ඩ්ස් පිිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 169ක් රැස්කරමින් ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 170ක ඉලක්කයක් ලබාදුන්නේය. එයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු පහක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

නිරෝෂන් දික්වැල්ල තරගය ශ්‍රි ලංකාව දෙසට රැගෙන ආ අතර සික්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්න තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. නිව් ලෑන්ඩ්ස් පිටියේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් වාර්තා කළ ජය ලෙසද මෙය ඉතිහාසයට එක්විය.