එකොමත් එක කලෙක අපේ රටේ කොතරම් ලස්‌සන සිංදු හැදුණද.. ඒවායේ පද රචනා, ස්‌වර රටා, සංගීතය වගේම ගායනත් කෙතරම් සිත් ඇද බැඳ ගත්තාද? ඒ නිසාම නොවේද ඒ ගී වැරදීමකින් හෝ ගුවන් විදුලි නාලිකාවකින් අදත් විකාශය කරද්දී අපේ හදවත් අමුතුම රිද්මයකින්, රසයකින් පිරෙන්නේ…
සන්සුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ
රන්වන් එරන්වන් යෞවනියේ
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ…
ශ්‍රීමති තිලකරත්න, හැත්තෑව අසූව දශකයේදී අපේ ගී ලොව සොබාමත් කළ ගී හඬ අදත් ඒ හඬ එසේමය. අප මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ එකොමත් එක කාලයේ ඇගේ ගී හඬින්ද කුල්මත්වූ අයුරු කියන්නට රසිකයාට ඉඩ දෙන්නේ නම් වැළ නොකැඩී ඊට අදහස් එක්‌වනු නොඅනුමානය.
එදා වගේම තමයි අදත් මට ගොඩාක් ඇරයුම් ලැබෙනවා. සමහර නාලිකා මට කතා කරනවා සිංදු කියන්න. ඒත් ඉතිං මට දැන් ඒකට හිත දෙන්නේ නෑ… ශ්‍රීමතී පවසන්නීය.
ඇගේ තතු විමසීමට ඈ පිළිබඳ රසික මතකය යළි අවදි කරවීමට සිතා අපි දෙහිවල කළුබෝවිල පාරේ තිබෙන ඇගේ පුංචි නිවහනට ගොඩ වූයෙමු. ආදරණීය සැමියා ප්‍රවීණ වාදක සහ සංගීතඥ මහින්ද තිලකරත්න සමග ආගම දහමට ලැදිව පින්බර ජීවිතයක් ගෙවන අතර තුරදියි අපි ඔවුන් දෙදෙනා සමගම සුන්දර කතා බහකට එක් වූයේ.
හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොඳ තනුවක් හදා
හිනැහී ටිකක් හැඩ නැටුමක් නටා…
“කේසර සිංහයෝ” චිත්‍රපටයට මිල්ටන් පෙරේරා එක්‌ක තමයි ඔය සිංදුව ගායනා කළේ. මම මුලින්ම ජනප්‍රිය වුණේ කරුණාරත්න අබේසේකර ලියපු මිල්ටන් පෙරේරාත් එක්‌ක අටවෙනි පුදුමය චිත්‍රපටයට ගයපු ගීයෙන්.
භාර දුන්න දේ ඒ වගේ කළා
කෝ මට තෑගි
මේ ගීය ගයද්දී මට අවුරුදු විස්‌සක් විතර ඇති. ඒත් ඊට කලින් මම ළමා පිටියේ හිටියා. ඒ කාලේ මට ලැබෙන චිත්‍රපට කපන මණ්‌ඩලයෙන් කපනවා. ලියන අය ලියන්නේ ඒ විදිහට. ප්‍රචාරයට සුදුසු නෑ කියා කපනවා.
ජී. එස්. බී. රාණි අක්‌කා මට වඩා මහින්දව හඳුනනවා. ඒ නිසා තමයි ඇයගේ වැඩ සටහනට මාව එක්‌කර ගත්තේ. එයාගේ වැඩ සටහනින් තමයි වික්‌ටර් ප්‍රියා ප්‍රේමකීර්ති වැනි පිරිසක් ඉදිරියට ආවේ. ශ්‍රීමතීගේ වැඩසටහන සංගීතවත් කරන්න කියා මහින්දට රාණි අක්‌කා කිව්වා. වාදක මණ්‌ඩලය එක්‌ක හිත් රිදීමක් නිසා මහින්ද කිව්වා රාණි අක්‌කේ ශ්‍රීමතිගේ ප්‍රොඅග්‍රෑම් එකට මට එන්න බෑ වෙන කෙනෙකුට දෙන්න කියලා. එවේලේ එතැන වික්‌ටර් රත්නායක හිටියා. මේ වික්‌ටර් ඉන්නේ වික්‌ටර්ට දෙන්න කිව්වා. එහෙම තමයි මම වික්‌ටර්ට මගේ වැඩසටහන දුන්නේ. හුඟක් අය හිතන්නේ වික්‌ටර් රත්නායක මට අවස්‌ථාව දුන්නා කියලා. නෑ එහෙම නෙවෙයි වුණේ. වික්‌ටර්ට වෙනම වැඩසටහනක් තිබුණා. එදා මෙයා එක්‌ක (සැමියාව පෙන්වමින්) කියන්න හදපු සිංදුව මෙයා බෑම කිව්වා. පස්‌සේ වික්‌ටර් එක්‌ක ඒ සිංදුව ගැයුවා.
ආදර ගඟුලෙහි ඉවුරෙ වැදී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ හිඳිනා විටදී
ලොවම දැකුම් කලු
ඒ ගීය හැදුනේ එහෙමයි. පද රචනය ප්‍රේමකිර්තිගේ සංගීතය වික්‌ටර් රත්නායකගේ.
මම ළමා පිටියෙන්, නවකමඬලට ආවා. පසුව සරල ගී ඒ ශේ්‍රණියේ ගායිකාවක් වුණා. දැන්නම් ඉතින් සල්ලි තියේ නම් ගායිකාවක් වෙන්න පුළුවන් එදා එහෙම නෑ. මගේ ගම හක්‌මන. තාත්තා රණසිංහ ආරච්චිගේ අරනෝලිස් අප්පුහාමි. සියරට හෝටලයේ අයිතිකාරයා. අම්මා විඡේසිංහ මුදලිගේ සෝමාවතී. ඇය නුවර වග. මම පවුලේ පස්‌වැනියා. අම්මා තමයි මා ළමා පිටියට දැම්මේ. ඒ කාලේ මම ශ්‍රීමති රණසිංහ. මට ඉදිරියට එන්න දුන්නේ නෑ. හුඟාක් අය මට අරියාදු කළා. අදත් ඒ අය මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා. මට එදා කරදර කිරීම ගැන ඔවුන් අද දුක්‌වෙනවා. මම ඉගෙන ගත්තේ සියලු සාන්තුවරයන්ගේ කන්‍යාරාමයේ. මම කන්‍යා සොයුරියක් වෙන්න ලෑස්‌ති වෙද්දී තාත්තා මාව එතැනින් අයින් කර ගත්තා. මම පුංචි කාලේ හරිම වසයි. ඇය අතීතයට පියමං කළේ සිනාසෙමින්.
අනන්තයට මා ඉගිලෙන
ඔබේ පැතුම් රේඛාවෝ
අනාගතය ලියා තබමි
ඈත සොඳුරු ආකාසේ….
ශ්‍රීමති රණසිංහ කොහොමද ශ්‍රීමතී තිලකරත්න වුණේ. මා ඇසූ පැනයට ඇය උත්තර නොදී සැමියා මහින්ද දෙස බලා යළි සිනාසුණාය.
“මෙයාගෙන්ම අහගන්න” ඈ කීවාය. ඔහු හඬ අවදි කළේය.
හැටහයේදී මම ජෝතිගේ වාදක මණ්‌ඩලේ හිටියේ. අපිට තිබුණා තංගල්ලේ වැඩක්. “මාතෘ භූමි” චිත්‍රපටය. කොටුව ස්‌ටේෂන් එක ළඟින් තමයි හැම කෙනෙක්‌ම අපි යන බස් එකට නැග්ගේ. ලෝලිත රාජපක්‍ෂ, මම බස් එකට නැග්ගා. නැඟපු හැටිය මම දැක්‌කේ මෙයාව. ඒ කාලේ මෙයා චිත්‍රපට හත අටක ගී ගයලා තිබුණා. ඒත් මම දන්නේ නෑ. මේ ඒ ගායිකාව කියලා. මම ෂීට් එකේ ඉඳ ගත්තා. බස් එකේ ඉස්‌සරහා කණ්‌ණාඩියට මෙයාගේ මුහුණ පේනවා. තංගල්ලට යනකල් මම කණ්‌ණාඩියෙන් මෙයාගේ මුහුණ බලබලා ගියා. තංගල්ලෙන් බැහැලා ටික වේලාවකින් මම හෙව්වා කෝ මෙයා කියලා. ලෝලිත කිව්වා තංගල්ල රෙස්‌ට් හවුස් එකේ එයාලාව නතර කළා කියලා. කෑම වෙලාවේදී මම රෙස්‌ට් හවුස් එකට ගියා. මෙයාගේ කාමරයේ දොරට තට්‌ටු කළා. එක පාරට ගෑණු කෙනෙක් බැණගෙන ආවා. ඒ මෙයාලා භාරව ගිය කෙනා. ඉතින් ආපහු කොළඹ එද්දීත් මම ආවේ මෙයා ගැන හිත හිතා. ඉන්න ගෙදර තොරතුරු හොයාගෙන මම ගියා. එකපාරටම මෙයා සැරවුණා… ඔහු කියද්දී
“නෑ ඉතිං මම බය වුණා. කියන්න බෑනේ… මෙයා හරිම ලස්‌සනයි. සුදුම සුදුයි. මම කලුම කලුයි.” ඈ කීවාය.
‘කලුයි කියන්නේ තාර ඊට වඩා හොඳයි’ ඔහු සිනාසෙයි.
අනේ යන්න කලු වුණාට මම ඒ කාලේ හරිම ලස්‌සනයි කියලා අද සමහර අය කියනවා. ඒ අය ඉරිසියාවට. ඒ දවස්‌වල කිව්වේ නෑ. මම ලස්‌සනයි කියලා. දැන් තමයි කියන්නේ. ඈ නෝක්‌කාඩු ස්‌වරයෙන් කීවාය.
අපේ තාත්තා කිව්වා දුව ඕවා හරියන ඒවා නොවේ… බොන මිනිස්‌සු ඔන්න ඕක අත්හැරලා දාන්න කියලා. මෙයා එක්‌ක ගමනක් ගියා කියලා දවසක් තාත්තා දර කෑල්ලක් අරන් මට හොඳටම ගැහුවා. මේ තවමත් පැල්ලම තියෙනවා.
ඒ වුණාට මම කුණු කුණු ගාලා මෙයාට කැමති කරවා ගත්තා. බලලා බලලා ඉලක්‌කෙට වෙඩිල්ල තිබ්බා. ඔහු කොක් හඬලා සිනාසේ. ලැඡ්ජාවෙන් නිහඬව සිටි ඕ යළි හඬ අවදි කළාය.
මෙයා කියනවා මට කැමති වුණේ මම ලිප්ස්‌ටික් නොගාන මේක් අප් නොකරන කෙනෙක් නිසාලු.
ඔව්… එහෙම අය කරදරයිනේ. මෙයාව දැකපු හැටිය අපේ ගෙදර අය කැමැත්ත දුන්නා. අපි දෙන්නා 1967 දී කසාද බැන්දා. නරකක් වුණේ නෑ. අපි දෙන්නා ළමයින් හදාගෙන ලස්‌සනට ඉන්නවා.
මෙයා හරියට බොනවා ඒත් මම අහක දැම්මේ නෑ. හදාගත්තා.
ඔව් ඒ කාලේ දැන් වගේ නෙවෙයිනේ ඔක්‌කොම අය බොනවා. ඉස්‌සෙල්ලාම ගෙනැත් තියන්නේ බෝතලේ හැබැයි ඒ කාලේ හරිම විනෝදයි.
ඔව්…. මෙයා පාන්දර ගෙදර එන්නේ ජෝතිත් එක්‌ක. ඇයි ඉතිං ජෝතිගේ වාදකයානේ. ජෝති, මිල්ටන් පෙරේරා එහෙම අපි ප්‍රසංගවලට චිත්‍රපටවලට යන්නෙත් එකටමයි. යද්දී ගඟක් පොකුණක් දැකපු හැටියේ ජෝති බැහැලා නානවා.
ඔං… කවුරුත් බලන්න එපා ඩෝ… කියලා ජෝති ඇඳුම් නැතිව වතුරට බහිනවා. මහින්ද කියද්දී මෙයාලා මගදී නතරවෙලා බොනවා. මට හරිම කේන්තියි. ගෑණු අපි බලා ඉන්නවා.
ඒ කාලේ මතක් වෙද්දී දුකයි. දුක තමයි බීලා නාස්‌ති වුණානම් අද අපේ ක්‍ෂේත්‍රයේ කී දෙනෙක් දුක් විඳිනවද ඔය බීමත්කම නිසා. සමහර පවුල් කැඩුණා. මම ඔයාවත් අරගෙන කලාවත් කරගෙන දරුවන්වත් හදමින් ගොඩ ආවා. ශ්‍රීමති දුක්‌බරව කිව්වාය.
ජෝති, මිල්ටන් මල්ලවාරච්චි හරිම ගුණ යහපත්. බොරුව නෑ… කරන දේ හදවතින්මයි. මිල්ටන් මැරෙන්න මාසෙකට කලින් එයාගේ උපන් දිනේට අපි ගිහිං සිංදු කිව්වා. විනෝද වුණා.
ඔව්…. ක්‌ලැරන්ස් පවා ආවා…
මගේ පඩිය ලෝන්වලට කැපෙනවා. ඉතින් පඩි දවසක සත පහක් අතේ නැතුව මම ගියා. නිතරම යන කල්බ් එකට. මම දැක්‌කා ප්‍රේමකීර්ති ද අල්විස් මුල්ලක වාඩිවෙලා ඉන්නවා. ප්‍රේම් එතැනට එන්න කියලා අතින් සංඥවක් දුන්නා. මම ගියා. මොකද බං මූණ වෙනස් වෙලා… ප්‍රේම් ඇහුවා. අද පඩි දවස. ඒත් ශ්‍රීමතිට දෙන්න කිසිම දෙයක් නෑ. මම කිව්වා. ඒ වෙලාවෙම එතැන මේසේ උඩ තිබුණ අත පිහදාන්න ගෙනාපු කොලයක්. ප්‍රේම් මොනවද ඒකේ ලිව්වා. “හිස් අතින් යන්න එපා… ඉඳා මේක දිපං ශ්‍රීමතීට” ප්‍රේම් ඒ කොලේ මට දුන්නා.
රත්තරං මැණික් මුතු මොකටද ඒවා
හිස් අතින් සිනා සිසී පැමිණේවා
මේ සිංදුව හැදුනේ එහෙමයි වික්‌ටර් රත්නායක තනුවත් සංගීතයක් නිර්මාණය කළා. මහින්ද පැවැසුවේය.
ඒ කාලේ හරියට නිදිමැරුවා. සංගීත සංදර්ශනවලට ළමයි තුන්දෙනා පුංචියි. දුව හැමදාම අහනවා අම්මා අදත් යනවද කියලා. ඇඳුම් බෑග් එක අරගෙන යද්දී ඔරවනවා. ඒ කාලේ ඉතිං දුක් වින්දා අද පුතා දිමුතු ලන්ඩන්වල. දුව ශ්‍රීමදූ ඉන්නේ ඇමරිකාවේ. දුවගේ දුව රනායා. ලොකු පුතා දිනන්ජි ඩුබායිවල හෝටලයක ගී ගයනවා. දිමුතු පුතාත් විශාරද, නිපුන් දක්‌වාම සංගීතය ඉගෙන ගත්තා.
වැටි වැටි ඇවිදින මගේ
පුංචි පුතා හැංගුනදොඅ….
කේ. ඩී. කේ. ධර්මවර්ධන සිංදුව ලිව්වේ. මහින්ද තමයි තනුව. මේ සිංදුව අපේ ළමයින්ට සම්බන්ධ නෑ. ගීය ගයද්දී ළමයින් ඉන්දියාවේ. ආයෙත් මේ සිංදුව ගායනා කරන්න හිතාන ඉන්නවා. ඒ දුවගේ පුතා රයෝන් මුණුබුරා නිසා.
අලුතින් සිංදු ගයන්න පුළුවන්. ඒත් කෝ සල්ලි. කවුද වියදම් කරන්නේ. ශ්‍රීමතී පවසද්දී මෙයා නම් කියල වැඩක් නෑ. මහින්ද කීවේය.
එක ගිනි කූරයි
මුලු ගෙදරම තිබුණේ
ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා
ඔබට ලියන්නට ඉඳගත්තා
මේක අමුතුම රිද්මයක්. මගේ ගී අතරින් වෙනස් මගක් ගත් ගීයක්… ඒ වගේම තමයි
ආදර සුබා
වාසනා වේවී
ඔහු ඒවී ඔබ යාවි
මුකුලිත වී…
බොහෝ කතා බහට අදත් ලක්‌වන ගීයක්.
සමහරු මගේ සිංදු වැරදියට ගායනා කරනවා. ලස්‌සනට කියනවා නම් කමක් නෑ. අලුතින් සිංදුවක් කියනවා නම් ලක්‍ෂයක් විතර ඕනේ එක සිංදුවක් කරන්න. හරිම අමාරුයි. මට දැන් වයස අවුරුදු හැට අටයි. දැන්නම් හිටියා ඇති කියලා හිතෙනවා. කැපිල පේන්න මම කැමති නෑ. බස් එකක යද්දී සමහරු මාව හඳුනා ගන්නවා. ඒ නිසා මම වැඩිපුර සාරිය අඳින්නේ නෑ. ඒත් ඉතිං දන්න අය දන්නවා අද. අපේ සමහරුන්ට මළගෙදරකට යන්නත් කැමරාවක් ඕනේ. මම මළ ගෙවල්වලට යනවා. ගිහිං එනකම් කිසි කෙනෙක් දන්නෙ නෑ. මම හුඟාක් දහම් පොත්පත් කියවනවා. අපි දෙන්නම දැන් දහම පැත්තට නැඹුරුවෙලා. මම ඉතිහාසය කියවනවා. ඉතිහාසය කියවද්දී තමයි දහම හමුවුණේ. ඉස්‌සර සැමියා දරුවන් තමයි මගේ මනසේ හිටියේ. දැන් මම බැඳීමවලින් මිදෙන්න උත්සාහ කරනවා. මම සතුටු වෙනවා මේ තාක් ගායනා ක්‍ෂේත්‍රයේ කිසිම කෙනෙකුට මම කැපිලි දමා නෑ. යන තැනට මම යන්නේ සතුටින්. මට හරිම සතුටුයි.
මගේ සැමියා මහින්දව අද මේ ඉන්න තත්ත්වයට ගත්තා. එයා ඒ කාලේ හරියට බීමට ඇබ්බැහි වෙලානේ හිටියේ. අද එයාත් දහමට නැඹුරුයි.
දරුවෝ තුන්දෙනා අපි දෙන්නව ජීවත් කරවනවා. ඉතින් වැඩිපුර සල්ලි හොයාගෙන යන්නෙ නෑ.
මල් පිපිලා සරු කෙත් හැදිලා
සිරියා දිලේ ලංකා
අනුර පුරේ රජ දහන අපේ
සැරදේ සදා ලංකා….