ලබන ඉරිදා එනම් 17 දා පෙරවරු 3.31 ට අහසේ වයඹ දෙස ග්‍රහ යුද්ධයක්‌a සිදුවේ. මෙය සිදුවන්නේ තුලා නවාංශකයේ තුන්වැනි පාදයේ බලය තහවුරු කර ගැනීම සඳහාය. තුලා නවාංශකයේ හිමිකාරයා සිකුරුය. මෙහිදී මෙම හිමිකරු පරාජිත වන්නේ ග්‍රහලොව සුරතලා වන හොඳත් නැති නරකත් නැති ගුණෙන් පතෝල වැනි බුධටය.

මෙම යුද්ධය ඇතිවන රාශිය වන්නේ මකර රාශියයි. මෙම අවස්‌ථාවේදී මෙම රාශියේම ග්‍රහ ලොව රජුද සිටී. එමෙන්ම මකර රාශියට සිකුරු මිතුරුය. බුධ සමය. මිතුරු රාශියක්‌ සම තත්ත්වයට වඩා ප්‍රබලය. එබැවින් මෙහිදී බුධට පරදින්නේ බලයෙන් ප්‍රබල සිකුරුය. ඒ නිසා සමාජයේ රූප බලය, කාම බලය, ධන බලය යටපත් කරමින් සිතේ බලය, යහගුණ බලය, සාධාරණයේ බලය වැනි දැ ප්‍රභලව මතුවිය හැකි කාලයකි. මෙම ශුභ තත්ත්වය අගෝස්‌තු 29 දින දක්‌වා පවතී.

ලොව මූල කේන්ද්‍රයට අනුව පරාජය වන්නේ ධනස්‌ථානාධිපති මෙන්ම කලස්‌ථානාධිපතිය. මෙය ධනයට හා බාහිර සම්බන්ධතා සුබ නොවන තත්ත්වයක්‌ ලෙස පෙනේ. එහෙත් පරාජය වන්නේ ලෞකික ග්‍රහයෙකි. භෞතික හා ලෞකික සම්පත් මූලික සම්බන්ධතා රටවල් අතර අවම වේ. එවැනි ගිවිසුම් හා සම්බන්ධතා වුවද නැවත වෙනස්‌වීම් වලට ලක්‌වේ.

එමෙන්ම මූල කේන්ද්‍රයෙහි සතුරු හා රෝගස්‌ථානාධිපති මෙන්ම වික්‍රමස්‌ථානාධිපති ජය ලබයි. මේ අනුව විවිධ රෝග පාලනය සඳහා නව ප්‍රතිශක්‌තීන් සොයා ගනී. එමෙන්ම සමාජ සතුරු බලවේග පාලනය වේ. විශේෂයෙන් ලෝකයට තර්ජනයක්‌ වී විවිධ අන්තවාදී ආගමික කල්ලි නායකයන් නීතියේ රැහැනට හසුවේ. රුවැති ළඳුන්ට අපලදායක වුවත් ගුණැති ළඳුන්ට ඉතා ශුභය. ලොව ප්‍රභල රටක ගුණවත් කාන්තාවකට නායකත්වය ලැබීමේ මූලික පසුබිම සැකසේ. ගුණවත් කතුන්ට ගරු නම්බු හිමිවේ.

අප රටේ ලග්නය අනුව සැලකූ විට පරාජය වන්නේ බන්ධුස්‌ථානාධිපති මෙන්ම ධර්මස්‌ථානාධිපතිය. මෙය රටක්‌ වශයෙන් ගත්විට ශුභදායක නොවේ. මේ අනුව බොහෝ විට වංචාවෙන් ධනය රැස්‌ කරන්නන්ට ශුභදායක නොවේ. විවිධ ආගමික හැප්පීම් ඇතිවේ. නිවාස දේපළ හානි සිදුවේ. කෘෂිකර්මාන්තයේ පහළ යැමක්‌ සිදුවේ. සම්ප්‍රදායන්ට ගරු නොකරන සමාජ වටපිටාවක්‌ නිර්මාණය වේ. උරුම හිමිකම් ගැන නොසිතයි. බොහෝ විකල්ප සඳහා අත්හදා බැලීම් සිදුකරන කාලයකි. දේව බැල්ම අඩුවන කාලයකි. උසස්‌ අධ්‍යාපන අංශයේ නව අත්හදා බැලීම් වෙනස්‌කම් සිදුවිය හැකිය. එය අනාගතයට ආයෝජනයක්‌ විය හැකිය. එමෙන්ම උසස්‌ අධ්‍යාපන ආයතනවල සිසු ගුරු ගැටුම් වැනි ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය.

බුධගේ ජය තුළ වාසනාවන්ත දරුවන් රටට බිහිවේ. මුල් හා ප්‍රාථමික ද්වීතියික අධ්‍යාපනය විශේෂ වෙනස්‌කම්වලට ලක්‌කරන කතාබහ ඇතිවේ. දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිත වන ඉගෙනීමට දිරිදෙන නව නීති සැකසේ. ක්‍රීඩා අංශයේ දියුණුවකට මග පෑදේ. විදේශයන් සමඟ ඇති මිතුදම් වර්ධනය වේ. එමගින් වාසි ලැබේ. රටේ සම්පත් විදෙස්‌වලට නොයන පසුබිම් සැකසේ. නව නිර්මාණ හේතුවෙන් විදේශ විනිමයන් රටට ඉතුරු වේ. රුවැති කතුන්ට අපල වන අතර ගණිකා නිවාස නීතියේ රැහැනට අසුවේ. ළමා අපචාර වරදකරුවන් නීතියේ රැහැනට කොටුවේ. විදෙස්‌ ලිංගික ශ්‍රමිකයන් පිටුවහල් කරන නීති සැකසීමට පසුබිම් සැකසේ. අධ්‍යාපන හා නිවාස අංශයන්හි වර්ධනයක්‌ ඇති වුවද ප්‍රවාහන සහ සෞඛ්‍ය අංශයන්හි පසුබැසීමක්‌ සිදුවේ.

මෙම ග්‍රහ යුද්ධය නිසා ඇතිවන බලපෑම ලග්න අනුව මෙසේය.

මේෂ – පවුලේ අසමගිය ඇතිවිය හැකිය. බාහිර අය සමඟ කරන ගනුදෙනු පාඩුවේ. කොපමණ හොඳ කළත් නරක නාමය පමණක්‌ ඉතිරිවේ. මිතුරු වෙසින් සතුරන් ලංවේ.

වෘෂභ – සෙම් රෝග වැඩිවිය හැකිය. පවුලේ සමගිය වර්ධනය වේ. වාසනාවන්ත දරුවන් ලබයි.

මිථුන – දරුවන්ට අපල සහිතය. මානසික විඩාව සහිතය. යුග දිවි සැපත අවමවේ. තම බලය වර්ධනය වේ. සමාජ කීර්තිය හා ගෞරවය හිමිවේ.

කටක – මව පිළිබඳ සිතුවිලි ඇතිවේ. ඇය වෙනුවෙන් පින්කම් කිරීමට පෙළඹේ. එමෙන්ම මවට අපලදායකය. රැකියා ස්‌ථානයේ ගැටලු මතුවේ. ආදායම් අඩුවේ. එහෙත් වෙනදාට වඩා කටයුතු කිරීමට ශක්‌තිය ලැබේ. විදෙස්‌ සංචාර හිමිවේ. එමගින් වාසි අත්වේ.

සිංහ – පවුලේ සමගිය වර්ධනය වේ. එහෙත් තම හැකියාවන්ට සුදුසු තැන නොලැබේ. ආදායම් අඩුවේ. නොකළ වැරදිවලට අසුවිය හැකිය. රැකී රක්‍ෂා ගැටලු මතුවේ.

කන්‍යා – පවුලේ අසමගිය ඇතිවේ. මිතුරන් වෙසින් සිටි සතුරන් ඈත්වේ. පෙර පින් යටපත් වේ. සිතුවිලි යහපත් වේ. තම තත්ත්වය ඉහළ යයි. දොස්‌ කියන ලද අයද හොඳ කියමින් ලංවීමට බලයි.

තුලා – පරාජිත සිතුවිලි ඇතිවේ. හදිසි අනතුරු සහිතයි. මිතුරු වෙසින් සිටින සතුරන් ලංවීමට බලයි. පෙර පින් මතුවේ. විදෙස්‌ සම්මානයන්ට ලක්‌වේ. විදෙස්‌ ආදායම් හිමිවේ.

වෘශ්චික – සියලු ගනුදෙනු පාඩු කරයි. සිතට බොහෝ කරදර සහිතවේ. සමීපතමයකුගේ හදිසි වියෝවක්‌ සිදුවිය හැකිය. නිග්‍රහ කරන ලද අය ප්‍රශස්‌ති ගයයි. බොහෝ විට රාජ ගෞරවයට ලක්‌විය හැකිය.

ධනු – සතුරු කරදර පැන නගී. තැන්පත් මුදල් වැය වේ. ආදායම් අඩුවේ. පවුලේ සමගිය තරවේ. පෙර පින් මතුවේ.

මකර – දරුවන්ට අපල සහිතය. විභාග ජය මග හැරේ. සතුරන් පරාජය වේ. දිගුකාලීන ලෙඩ රෝග මතු කර පෙන්වයි. පෙර පින් මතුවේ. රැකියාවේ බාධක මතුවේ. ස්‌ථාන මාරු සහිතය.

කුම්භ – ආදායම් අඩුවේ. ඉඩම් නඩුවලට පැටලේ. මවට අපල සහිතය. පින්වන්ත දරුවන් ලබයි. දරුවන්ගේ ජය සතුට බවට පත්වේ.

මීන – තම ශක්‌තිය හීන බවක්‌ දැනේ. ආදායම් වැඩිවේ. යාන වාහන ගැටලු විසඳේ. රට රටවල් අතර සම්බන්ධතා දියුණු වේ. එමගින් ධනය බලය වර්ධනය කර ගැනීමට හැකිය. ගරු නම්බු හිමිවේ.

ජ්‍යෙතිෂවේදී
හෝමාගම – ජී. සමරප්පුලිගේ