Ranjith

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල  හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.හෙට (17) සිට විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඒ අනුව හෙට දිනයේ සිට දැනට පවතින විදුලි කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බවයි.

පසුගිය ඉරිදා දිනයේ බියගම විදුලි උප පොළේ ට්‍රාන්ස්පෝමරයක් පුපුරායාම හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදු වුණි.

එම විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇණහිටියේය.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා වරින් වර විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරනු ලැබුවේය.

කෙසේ වෙතත් යළි හෙට දිනයේ සිට නොරොච්චෝලයේ බලාගාරයේ විදුලි ජනන කටයුතු ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බව සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.