wasudewa

වල්බූරු නිදහස යනු කුමක්ද? යන්න තීරණය කිරීමට වල් බූරු‍වෙකුට ලබා දුන්නොත් කුමක් සිදුවේදැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රශ්න කර සිටියි.

අද (17) කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී වල්බූරු නිදහස පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් වාසුදේව මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය.

ඒ මහතා වැඩි දුරටත් පහත පරිදි ප්‍රකාශකර තිබේ.

මුලින්ම කියන්න ඕනේ මේ වල්බූරු නිදහස ගැන කතාව වල්බූරූ කතාවක් බව.

සතුන් දඩයම ගැන කතාවේ විස්තර වර්ණනාව ලියන්නට සතුන්ට අයිතිය දුන්නොත් ඒ පිළිබඳ කතාව කොහොම ලියවේවිද?

ඒ වගේ වල්බූරු නිදහස යනු කුමක්ද? යන්න තීරණය කිරිමේ අයිතිය අද කවුද මේ අරගෙන තියෙන්නේ.

එහෙම කාටවත් අයිතියක් තියෙනවාද?

මේ තමයි නිදහසේ සීමාව. මීට එහා වල්බූරු, මීට මෙහා නිදහස කියලා තීරණය කරන්න පුලුවන්ද?

දේශපාලනඥයෝ මෙහෙම සීමාවක් දාන්නේ තමන්ගේ පටු උවමනාව අනුව.

තමන්ගේ ආණ්ඩුවට තද විවේචනයක් එනවා නම් ඒ විවේචනය කිරිමේ නිදහස අහුරන්න හා ඒකට වැට බඳින්න.

මේ වල්බූරු නිදහස පිළිබඳ කතාව අපි ඉදිරියට ගන්නවා.

යම් රටක තිබෙන සභ්‍යත්වය, ශිලාචාරකම, සමාජයේ පවතින පිළිගැනීම් ආදියට යටත්වයි එම රටේ පවත්නා මාධ්‍ය නිදහස ඇතුළු ප්‍රකාශනයේ නිදහස ක්‍රියාත්මක විය යුත්තේ.