sugath-thilakarathna

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව සතුටුවිය නොහැකි බවත් පදක්කම් බලාපොරොත්තු කිහිපයක් ෙනාසිතූ ලෙස ගිලිහී ගිය බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා පැවසීය.

“ඇත්තටම සතුටු නෑ. අපි රන් පදක්කම් 11ක්, 12ක් බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් අපිට දිනාගන්න පුළුවන් වුෙණ් රන් පදක්කම් 9ක් පමණයි. ගොඩක් දේවල් නොහිතපු ලෙස ගිලිහී ගියා. කුරේගේ (අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ) පදක්කම ගැන අපි බලාපොරොත්තු තියාගෙන හිටියා. හෙල්ල විසිකිරීම පිරිමි (සුමේධ රණසිංහ) හා කාන්තා තුන් පිම්ම හා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කමත් අපිට නොහිතපු ලෙස අහිමි වුණා.  පැනීම් ඉසව්වලින් අපිට හිතපු ප්‍රමාණය ලැබුණේ නෑ. ක්‍රීඩකයන්ගේ දක්ෂතා හොඳ මට්ටමක තිබුණේ නෑ කියලා කියන්න පුළුවන්.” යැයි පැවැසීය.

තරගාවලියේදී මැරතන් පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකාව ඉදිරියේ අනිවාර්ය රන් පදක්කමක් ලියැවී තිබුණත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සන්නිවේදන ගැටලුවක් නිසා එහි රන් පදක්කම ශ්‍රී ලංකාවට අහිමිවිය. මැරතන් තරගයේ වට හතරක් ඉන්දිරා ගාන්ධි පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ ආරම්භයේදී එක් වටයක් හා අවසානයේදී වට තුනක් ලෙසිනි. කෙසේ වෙතත් මෙය කණ්ඩායමේ නියමිත පරිදි සන්නිවේදනය නොවීම හේතුවෙන් අනුරාධට පදක්කම අහිමිවිය. ඒ ඔහු තරගය අවසන් කිරීමට ඉන්දිරා ගාන්ධි පිටියේ වට හතරක් දිවිය යුතු යැයි සිතූ හෙයිනි.

ඉන්දීය ක්‍රීඩකයා එක්වරම තුන්වැනි වටයේදී තරගය අවසන් කර තිබෙන අතර, ඒ වනවිට කුරේ ඔහුට ආසන්නයෙන් තරග කරමින් සිටියේය.
“වට හතරක් කියලා තමයි තාක්ෂණික කමිටුවේදී කියලා තිබුණේ. මේ වට හතරෙන් පළමු වටය තරගය ආරම්භයේදීම ක්‍රීඩාංගණයේ ආරම්භ කරලා තිබුණේ. මේ ගැන ඉන්ද්‍රජිත් කුරේව අපේ අය දැනුවත් කර නෑ. තාක්ෂණික කමිටුවේදී ඉන්දීය නිලධාරීන් හරියටම ඒ ගැන කියලා තියෙනවා” යැයි මේ පිළිබඳව කළ විමසීමකදී සුගත් තිලකරත්න මහතා පැවසීය.

මීළඟට ශ්‍රී ලංකාවට සහභාගීවීමට ඇති ප්‍රධානතම තරගාවලිය වන්නේ ඔලිම්පික් තරගාවලිය බවත්, ඒ පිළිබඳව අවධානය යොමුකරමින් ඉදිරි වැඩසටහන් සංවිධානය කරන බවත් සුගත් තිලකරත්න මහතා සඳහන් කළේය.