338_1

මෙවර පලාත් සභා මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ බස්නාහිර පළාත් අපේක්ෂකයෙකු සහ කණ්ඩායම් නායක ලෙස කොළඹ දිසාවට තරග වදින,මෙවරත් පරිසර හිතකාමි සහ යහ පාලනය පෙරටුකරගත් ක්‍රියාන්විතයක් අරඹා තිබෙන, නව දේශපාලන සංස්කෘතියක් සදහා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරත වන නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග StarGate.lk කල සාකච්ඡා සටහනකි මේ.

StarGate.lk:- මෙවර මැතිවරණයේදි යලිත් ඔබ වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරනවා,දස වැදෑරුම් දළදා ප්‍රතිඥාව… පලමු වතාවට වඩා මේවා රැකගෙන ඉදිරියට යාමට මෙවර හැකිවෙයිද?

මම 2000 වසර ඉදන්ම පුර්ණ කාලීනව දේශපාලනයේ හිටියත් 2009 වන තුරුම මැතිවරණ වලට ඉදිරිපත් වුනේ නැ.එයට හේතු වුනේ ලංකාවේ පවතින මැතිවරණ ක්‍රමය පිලිබදව මගේ පැවති බලවත් පිළිකුල. 2009 කොටි ත්‍රස්තවාදයෙන් රට මුදාගත් පසු මම තිරණය කලා දේශපාලනයට සමු දිලා නැවත මගේ වෘර්තිය ජිවිතයට යන්න,මොකද මා පුර්ණ කාලීන දේශපාලනයට පැමිනිමේ අරමුණ ඉටු වු නිසා.නමුත් මගේ පක්ශයෙන් මට බල කලා බස්නාහිර පලාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා,වසර නවයක් පුරා මග හැරියත් ඒ අවස්ථාව මග හැර ගන්නම බැරි වුනා,ඒ නිසා මම කිවුවා හොදයි මම ඉල්ලන්නන් හැබැයි මට ඕන විදියට.

ඒ අනුව කොළඹ ඡන්දේ මම පටන් ගත්තේ මහ නුවරින්.මගේ ලොකේ ලොකුම විරයා තමා ගෞතම බුදුරජාණන් වහන්සේ,ජීවමාන බුදුරජාණන් වහන්සේ විදියට සලකන්නේ දළදා වහන්සේ,ඒ නිසා මම දළදා වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් දුන්නා, ඒයින් කියවුනේ මම ජනතාවට බොරු කියන්නේ නැ,අනිත් අපේක්ෂකයන්ට මඩ ගහන්නේ නැ,විදේශ රටවලින්/රාජ්‍ය නොවන සංවිධානවලින් සල්ලි ගන්නේ නැ,මත්පැන් සහ දුම්වැටි මැතිවරණ ව්‍යාපාරයේදි බෙදාහරිනේ නැ,පොලිතින්,පොස්ටර්,රතිඤ්ඤා වැනි පරිසරයට අහිතකර දේ මැතිවරණයට පාවිච්චී කරන්නේ නැ,ඒ වගේම මම දේශපාලනයට එන්නේ මගේ වත්කම් ප්‍රසිද්ධ කරලයි.

මේ ප්‍රතිඥාව දෙස බොහෝ අය අවඥාවෙන් බැලුවේ.. තම කුලුදුල් මැතිවරණයේදිම දැවැන්ත පරාජයක් ලැබිමට අත්තිවාරම දැමිමක් ලෙස තමයි බොහෝ දෙනා සිතුවේ.නමුත් පරාජය විමේ අවධානම අරගෙන උඩුගං බලා පීනන්න මං තිරණය කලා…මොකද ප්‍රතිපත්ති විනාශ කරගෙන ලබන ජයග්‍රහණයක් වටින් නැ කියලා හිතුන නිසා.

ඡන්ද ප්‍රතිපලයේදි මුලු රටම පුදුම වුනා.. අවංකවම කිවුවොත් මාත් පුදුම වුනා.. මං හිතුවේ වැඩිම වුනොත් මනාප 30000ක් ඇති කියලා එත් 116144ක් මට මනාප තිබුනා.. එකෙන් පෙනුනේ මිනිස්සු හොද දේ ඉල්ලනවා,හොද දේවල් නැති වුනාම තියන දෙයක් එක්ක ඒ අය යනවා.. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි පවතින ක්‍රමය විවේචනය කරමින් ඉන්නවා මිසක් හොද මිනිසුන් දේශපාලනයට ඇවිල්ලා පවතින ක්‍රමය වෙනස්කරන්න උත්සහ කරන්නේ නැ.අපි ඒ දරපු වැයම සාර්ථක වුනා.අද බොරු කියන්නේ නැතුව,කසිප්පු අරක්කු බෙදන්නේ නැතුව,ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නේ නැතුව,ඉහලින්ම ඡන්ද දිනන්න පුලුවන් කියලා අද අපි ඔප්පු කරලා තියෙනවා.ඒ වගේම ඒදා මම ස්වෙච්චාවෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙමින් ආරම්භ කරමු වැඩපිළිවෙල අද වන විට මැතිවරණ කොමසාරිස්තුමා අනිවාර්ය කරලා තියෙනවා… ඒ හරහා රටේ දේශපාලනය වෙනස් කරන්න අපට පුලුවන් වෙලා තියේනවා.

ඒදා මා පමණයි පොස්ටර් ගහන්නේ නැ කිවුවේ.මේ මැතිවරණයේදි මා දන්නා තරමින් අපේක්ෂකයින් පස් දෙනෙක් පොස්ටර් ගහන්නේ නැති බව කියනවා.ඉතින් ඒ වගේ අපි බල කිරිමෙන් නෙමෙයි,ආදර්ශය හරහා මෙය කිරිමට හැකි බව පෙන්වා තිබේනවා.

338_3

StarGate.lk:- හරි මග ගෙන යන උදය ගම්මන්පිල…. මේ ඔබේ තේමා පාඨය…. බත් පැකට් එකට,රුපියල් 500ට ඡන්දය අලවිකරන මිනිස්සු සමග මේ මග යාමට සිදුවිම ඔබ දකින්නේ….

අපි දන්නවා අපි මේ වෙනසක් ආරම්භකලා විතරයි,බුදුරජාණන් වහන්සේ බිහි වෙලා වසර දෙදහස් හයසියක් ගතවෙලා,එත් පන්සිල් රකින සමාජයක් ඇති කර ගන්න අපිට තවම බැරි වෙලා තියෙනවා…අපිට බලාපොරොත්තු තියෙනවා.. අපි දන්නවා තණකොල නිකන්ම වැවෙනවා.. එත් පොහොර දාලා හදන මල් ගස මැරෙනවා… හොද දේ කරන්න අමාරුයි,හොද දේ කරන්න කල් යනවා, නමුත් අපි උත්සහ කල යුත්තේ හොද දේ කරන්නයි.

මේ වසර පහ තුල අපි ලබා තිබෙන ජයක්ග්‍රහණ ගැන අපි සතුටු වෙන්න ඕනේ.ඒ වගේමයි මැතිවරණයේදි ජනතාවගේ ඇගයිමට ලක් වුනා..මේවර මැතිවරණයේදි රාජ්‍ය නායකයගේ ඇගයිමට ලක් වෙලා තියෙනවා.ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පක්ශ වලින් පිට… කණ්ඩායම් නායකත්වය මට ලබා දිලා තියෙනවා.ඒ ලබා දුන්නේ මම හිතන්නේ අපි අනුගමනය කරන නව දේශපාලන සංස්කෘතියට ඇති ජනතා කැමැත්ත පිලිබදව රාජ්‍ය නායකත්වයත් පිළිඅරන් තිබෙනවා. ගමන හෙමින් වෙන්න පුලුවන්… එත් අපි දිශානතියට යනවා.

StarGate.lk:- කණ්ඩායම් නායකත්වය ඔබට සංධානය තුලින්ම අභියෝග එල්ල විමට හේතුවක් නොවෙයිද?මේ තනතුර ඔබට අභියෝගයක්ද?

ඇත්තෙන්ම කිසිසේත්ම අභියෝගයක් විදියට සලකන්නේ නැ…මට නුහුරු අත්දැකිමකුත් නෙමෙයි, මම කවදාවත් තනතුරු පස්සේ ගිහිල්ලත් නැ. මම පසුගිය වතාවේ මට ඇමතිධුරයක් දෙන්න කියලා ඉල්ලිමක් කරේ නැ.. එත් මට ලැබුනා… මම විතරයි නවකයන් අතරින් ඇමතිධුරයක් ලද එකම කෙනා.ඒ වගේම කණ්ඩායම් නායකත්වයත් ජනාධිපතිතුමා තිරණය කරලා මට ලබා දෙන්නේ…හැබෑයි මට කොළඹ නායකත්වය නුහුරු අත්දැකිමක් නොවෙයි… මම ඇමතිවරයෙක් විදියට කොළඹ පමණක් නෙමෙයි,බස්නාහිර පලාතේම සන්ධානයේ පමණක් නෙමෙයි විපක්ෂයේ අයට පවා නායකත්වය දෙන්න පුලුවන් වුනා..පලාත් සභාව අවසානයේ තිබුනු අය වැය විවාදයේදි පක්ෂ බේදයකින් තොරව මගේ අමාත්‍යන්ශය කල සේවය ඇගයිමට ලක් කලා. ඒ වගේම කොළඹ දිසා සංවර්ධන කමිටු රෑස්විමේදි මහ ඇමතිතුමා වෙනුවෙන් මුලසුන දැරුවේ මමයි,කොළඹ ප්‍රශ්න සාකච්ඡා කිරිමේදි කොළඹ කෙනෙක් මුලසුනේ සිටිම හොදයැයි විශ්වාස කරපු නිසා,මධ්‍යම ආණ්ඩුවේ සුසිල් ප්‍රේම්ජ්‍යන්ත ඇමතිතුමා සමග සම මුලසුන දැරුවේ මමයි.ඒ නිසා මේක මට නුහුරු දෙයක් නෙමෙයි.. මේ පිරිස සමග මම කලින් වැඩකරලා තියෙනවා,ඒ අය මට හොද සහයොගයක් ලබා දිලා තියෙනවා,මේ මොහොතෙත් ඒ සහයෝගය ඒ ආකාරයෙන්ම ලැබෙනවා,මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නොවිම මගේ සහොදර අපේක්ෂකයින් ප්‍රශ්නයක් කරගෙනත් නැ.. මිට කලින් මම ඇමතිධුරයේ සිටිද්දිත් ලංකා නිදහස් පක්ෂයේ නොවන එකම ඇමතිවරයා මමයි.ඒක කවුරුත් ප්‍රශ්නයක් කර ගත්තේ නැ.. පලාත් සභාවේ මට එරෙහිව එජාපය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවෙදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු එක් අයෙක් ඇරෙන්න අනෙක් සියලු දෙනාම පැමින මට සහයොගය දැක්වුවා..විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රිවරු නොපැමිණ සිටිමෙන් සහයොගය දැක්වුවා,ඒ නිසා පක්ෂ විපක්ෂ හැමොම පලාත පුරා එකට ගැට ගහගෙන හිටිය මට, එක් පක්ෂයක එක දිස්ත්‍රික්කයක නායකත්වය දැරිම අභියෝගයක් නෙමෙයි.

StarGate.lk:- මැතිවරණ නිතී නොකැඩිමට, කණ්ඩායම් නායකයා ලෙස ඔබට සාපෙක්ෂව ඔබගේ කණ්ඩායමෙත් විනය පවත්වාගෙන යාමට හැකියාව තිබේනවද?

මුලින්ම කිව යුතුයි කණ්ඩායම් නායකයට කණ්ඩායමේ විනය පිලිබද වගකිමක් නැ.. එය තිබෙන්නේ ඔවුන් නියොජනය කරන එක් එක් පක්ෂ වල, විනය කමිටු,මධ්‍යම කාරක සභා ආදියට.. නමුත් මම ආදර්ශය හරහා අපේ කණ්ඩායමට යම් බලපැමක් කරන්න උත්සහ කරනවා.. විශේෂයෙන් කියන්න ඕනේ නාම යොජනා අවසන්වුනු දින සිට මේ කතාකරන දින දක්වා ප්‍රභල නිති කඩවිමක්,ප්‍රචණ්ඩ ක්‍රියා තමා ප්‍රභලම… එවැන්නක් කොළඹින් වාර්තා වි නැ..අපි දන්නවා මේවා ඇති වෙන්නේ පක්ෂ අතර නෙමෙයි එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර,මේ දක්වා අපේ අය සමගියෙන් කටයුතුකර තිබෙනවා.. ඉදිරි දින ටිකත් එසේම ගතවේවායි මම හැමදාම උදේට ප්‍රාර්ථනා කරනවා.

StarGate.lk:- මට රුපියල් සීයක් දෙන්න… මෙය ප්‍රායෝගිකද කියලා සමහරු ප්‍රශ්න කරනවා…මුලු මැතිවරණයම කරන්නේ මේ මුදල් වලින්ද? මෙයින් ඔබ ලබා දිමට උත්සහ කරන පණිවුඩය මොකක්ද?

මට මුදල් සොයාගන්න අපහසු නිසා සීය ඉල්ලුවා නෙමෙයි.සමහරුන් මේක සීගා කැමක් ලෙස අර්ථ දකාවා තිබුනා.නමුත් මම අධ්‍යාපනය ලැබුවේ ඕස්ට්‍රේලියාවේ.. මට එහි විශාල මිතුරන් පිරිසක් ඒ රටේ ඉන්නවා.. ඒ වගේම මම සමාගම් අධ්‍යක්ෂකවරයෙක් ලෙස සිටි නිසා ව්‍යාපාර ලොකයේ දැවෑන්තයන් විශාල පිරිසක් මගේ සමීප මිතුරන්,ඊට අමතරව මම ධනවත් වෘර්තියක් ලෙස හැදින්වෙන නිති වෘර්තියටත් ඒ වගේම ඉහල වැටුප් ලබන වෘර්තියක් වන පරිඝණක ඉන්ජිනේරු වෘර්තියටත් සම්බන්ධ පුද්ගලයෙක්. ඒ නිසා මම අරමුදල් රෑස් කිරිමේ දුෂ්කර තාවයකින් පෙලෙන අයෙක් නෙමෙයි,නමුත් අපි මැතිවරණ කරදිදි දැක්කා.. මේ ක්‍රමය යටතේ මිලියන ගණනින් මුදල් වියදම් කිරිමට සිදුවන බව…ඇමතිකම් කරද්දි අපි දැක්කා අපේක්ෂකයන්ට වියදම් කල ඇතැම් ව්‍යාපාරිකයන් තමන්ට වාසි සහගත තින්දු ගැනිමට කරන බලපැම්,ඒ නිසා ඒ කාලයේ සිටම මන් සිතු දෙයක් තමයි දේශපාලකයා,ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් මුදාගන්නා තෙක් මේ රටේ යහ පාලනයක් ඇතිකල නොහැකියි කියන එක.ඒ නිසා තමා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලිමක් කලේ යහ පාලනය පිලිබදව විශ්වාස කරන සැම පුද්ගලයෙක්ම මට රුපියල් සීයයකින් දායක වෙන්න,ඒ මුදලින් මම මැතිවරන ව්‍යාපාරය කලොත් මම වගකිව යුත්තේ ජනතාවට පමණයි කියන එක.

එයට ඉතාම සුබවාදි ප්‍රතිචාර තිබේනවා..අද යන යන තැන හැමොම රුපියල් සීයයක් මිට මොලොනවා,සමහර කට්ටිය ඊට වඩා මිට මොලවනවා,සමහරු රෑස්විම් වලදි සීයේ මල් මාලා දානවා,රෑස්විම වලට එන අයගෙන් සීය එකතු කරලා දෙනවා.. පාසැල් දරුවන් පාවා මම පාරේ අයිනේ ඉන්නා විට දුවලා ඇවිත් සියයක් දිලා දුවලා යනවා..මේ හරහා කාරනා කිපයක් පෙනවා.. එකක් තමා යහ පාලනය සදහා මේ රටේ පවතින දැඩි ඉල්ලුම.දෙවනිදේ නැවුම් දේශපාලන සංස්කෘතියක් අපට ගොඩ නැගිය හැකියි කියලා ජනතාව තුල තියෙන විශ්වාසය.රුපියල් සීයය වැඩි නිසා නෙමෙයි අපට දෙන්නේ,මේ තුලින් යමක් කරයි කියලා ජනතාව තුල ඇතිවෙලා තිබෙන බලාපොරොත්තුව.ඉතින් පසුගිය වතාවේ වත්කම් බැරකම් ප්‍රකාශ හරහා මේ රටේ දේශපාලනය වෙනස් කරන්න අපට පුලුවන් වුනා වගේම,පුංචි රුපියල් සීයයෙන් ලොකු විප්ලවයක් කරන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.ඒතනදි මට සීයය විතරක් නෙමෙයි ලැබිලා තියෙන්නේ විශාල මුදල් මට ලැබෙනවා..රුපියල් සියයේනුත් මට ලක්ෂ 19ක් විතර ලැබිලා තියෙනවා.ඒක මම හිතනවා සුවිශේෂි සන්ධිස්ථානයක් ලංකා දේශපාලනයේ. මහ ජනතාව පෙරට ඇවිත් තිබෙනවා තමන්ගේ දේශපාලකයාගේ බරපැණ දරන්න.

ඉදිරියේ තිබෙනවා මගේ උපන් දිනය වෙනුවෙන් ලේ දන් දිමේ පිංකමක්,ඒ සම්බන්ධයෙන් දැනුම් දෙද්දි මගේ මිතුරෙක් හිනා වෙලා පැවසුවේ,අනෙක් දේශපාලකයෝ ඇවිත් අපිට තැගි බෝග දිලා ඡන්දේ ඉල්ලනවා..ඔබ ඡන්දෙත් ඉල්ලලා,සල්ලිත් ඉල්ලලා දැන් ලේත් ඉල්ලනව කියලා…හැබැයි ඒ අය දෙන්න සුදානම්.අලුත් දේශපාලන සංස්කෘතියකට හොද අත්තිවාරමක් ඇති වෙලා තියෙනවා,මගේ මැතිවරණ ව්‍යාපාරයේ අය වැය මගේ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනවා.ඉතුරු වන යම් මුදලක් විරු දරු ශිෂ්‍යත්ව අරමුදලට බැර කරනවා. ඒ වගේම මේ හරහා ඇති වෙච්ච සන්වාදය අපේක්ෂකයන්ගේ වියදම් සීමා කරන නව මැතිවරණ නිතිරීති ගෙන ඒමට ඉවහල් වෙයි කියලා මම බලා පොරොත්තු වෙනවා.

StarGate.lk:- මෙවර මැතිවරනයේදි ඔබට මනාපයක් දිමට සුදානම් වන ජනතාවට අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ මොනවාද?

මම වෘර්තින් ගනනාවක සුදුසුකම් ලත් වෘර්තියවේදියෙක්.1996දි මගේ වැටුප රුපියල් ලක්ෂයයි. ඊට අවුරුදු 18කට පස්සේ අද මගේ වැටුප රුපියල් 63.000යි.ඒදා මා සමග ලක්ශ පඩිය ගත්ත අතලොස්සක් රටේ හිටියා,සමාගම් ප්‍රධාන විධායක නිලධාරින්, ඔවුන්ගේ අද පඩිය ලක්ශ 15ක් පමණ.අපි දැවැන්ත කැපකිරිමක් කරමින් දේශපාලනයේ සිටින්නේ,දේශපාලකයන්ට දොස් කියනවා වෙනුවට ,මේ දේශපාලන ක්‍රමය වෙනස් කිරිමට කටයුතු කල යුතු නිසයි.මොකද දොස් නැගිමෙන් පමණක් සමාජයක් වෙනස් වෙන්නේ නැ.ඒ නිසා මම සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ අදුරට සාප කරමින් නොයිද එක් පහනක් හෝ දල්වන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.

සාකච්ඡාව මෙහෙයවිම : මෙලාන් ඉදුනිල් කරුණාතිලක.