Sri-Lanka-Police

මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් සැරයන්වරයෙකු තියුණු ආයුධයකින් පහරකෑමෙන් තුවාල ලබා තිබේ.

එම ප්‍රදේශයේ පවුල් ආරවුලක් විසඳීමට ගිය අවස්ථාවේ අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි සඳහන්ය.

තම මව්පියන් ආරවුලක් ඇති කරගෙන ඇති බවට දරුවෙකුගෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් සැරයන්වරු දෙදෙනෙකු එම ස්ථානයට ගොස් තිබේ.

පොලිස් නිලධාරීන්ගේ පැමිණීමෙන් කෝපයට පත්වු දරුවාගේ පියා විසින් අදාළ පොලිස් සැරයන්වරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පැවසුවේය.

පහරකෑමෙන් තුවාල ලැබු පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා මුල්ලේරියා රෝහලට ඇතුළත් කර තිබේ. ඔහු මුල්ලේරියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බව සඳහන්ය.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්ලේරියාව පොලීසිය විමර්ශන සිදුකරයි.