312312312312331`

 

මගේ ඉවත්වීම හිත හොඳින් ගත්ත තීරණයක්‌
– “ෂා එෆ්.එම්.” හිටපු වැඩසටහන් අංශ ප්‍රධානී ප්‍රගීත් විඡේසූරිය

නිර්මාණශීලී යොවුන් මාධ්‍යවේදියකු ලෙසින් අංශ ගණනාවකදී දක්‍ෂතා එළිදැක්‌වූ හෙතෙම, හැකියාවන් රැසකින් පිරිපුන් තනි පුද්ගල චරිතයකි. ඔහු අද සිය මාධ්‍ය දිවියේ දස වසර සපිරුවෙකි. ගුවන්විදුලි සහ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසත්, හඬ කැවීම් ශිල්පියකු, ගේය පද රචකයකු සහ රූප රචනා අධ්‍යක්‍ෂවරයකු ලෙසිනුත්, හැකියාවන් එළිදැක්‌වූ හෙතෙම මෙරට එෆ්.එම්. නාලිකා අතුරින් ඉතාමත් කෙටි කාල පරාසයකදී ඉහළ ජන ප්‍රසාදයක්‌ හිමි කොටගත් “ෂා එෆ්.එම්.” හි හිටපු වැඩසටහන් අංශ ප්‍රධානියාද වෙයි. ප්‍රගීත් විඡේසූරිය නම්වූ ඔහු සමග ‘දිවයින සිනමා කලා’ පැවැත්වූ මේ කතාබහ ඔහුගේ මාධ්‍ය දිවියේ තොරතුරු ඔබ හමුවේ තැබීම වෙනුවෙනි.

ඔබේ මාධ්‍ය භූමිකාවේ ආරම්භයට යමින් මේ කතාබහට ප්‍රවේශ වුවහොත්….

ඒ.බී.සී. (ආසියානු මාධ්‍ය ජාලය) සමගින් මා එක්‌වූයේ 2004 වසරේදී. ඒ ප්‍රවර්ධන නිලධාරියකු විදිහට. ඊට ප්‍රථම මා ශ්‍රී එෆ්.එම්. සහ සිරස මාධ්‍ය ජාලයේත් රැකියාවන් කළා. නිර්මාණ වේදියකු ලෙස එක තැන හිර නොවී මගේ හැකියාවන්ගෙන් වැඩ ගැනීමට මම හැම විටම උත්සුක වුණා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස හිරු ටී.වී. හි ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ඉහළ ජන ප්‍රසාදයක්‌ දිනා ගැනීමට මට හැකියාව ලැබුණා. ඊටත් පස්‌සේ “ෂා එෆ්.එම්.” හි අලුත් ගමන ආරම්භ කරන අවධියේ මට වගකීම් රාශියක්‌ පැවරුණා. එතනදී සභාපතිතුමන් සහ ඉහළ නිල දරුවන් ලබාදුන් සහාය අමතක කරන්න බැහැ. මම වැඩ කරන්න තෝරාගත්තේ හොඳම කණ්‌ඩායමක්‌. අපේ තරංග මාලාව වගේම නමත්, රටේ ඉහළම තැනකට ගෙන එන්නට හැකියාව ලැබුණා. ගුවන් විදුලි ශ්‍රාවකයාට අල්ලස්‌ නොදී හොඳම ගුවන් විදුලි නාලිකාව විදිහට “ෂා එෆ්.එම්” අභිෂේක කිරීමටත් මට එතනදී හැකියාව ලැබුණා. ඒක “ෂා එෆ්.එම්” හී නැවත ආගමනයට විශාල රුකුලක්‌ වුණා. මට පැවරුණු වගකීම් නිසි ලෙස ඉටු කරන්නට හැකියාව ලැබීම ගැන මට අද ඇත්තේ නිරහංකාර සතුටක්‌. ඒ වගේම එය මාධ්‍යවේදියකු ලෙස මා ලැබූ අත්දැකීම් අතුරින් සුවිශේෂී වූවක්‌.

පැවරුණු වගකීම් නිසි ලෙස ඉටු කළ ඔබ අද “ෂා එෆ්.එම්” අතහැර වෙනත් ගමනක්‌ යමින් පවතිනවා නේද..?

ඇත්තෙන්ම මේ තීරණය මම හදිසියේ ගත් තීරණයක්‌ නොවෙයි. ඒ පිළිබඳව මගේ ආයතනය දැනුවත් කළේ කලකට ඉහත. මම කිසිම කඩාකප්පල්කාරී තීරණයකට ගියේ නැහැ. මේ විදියට නාලිකාවලින් එළියට ගිහින් තමන්ගේ ගමන සාර්ථක කරගත් බොහෝ පිරිසක්‌ අපේ රටේ සිටිනවා. ඉතිං මමත් හොඳ ආත්ම විශ්වාසයක්‌ ඇතිව යහපත් අලුත් ගමනක්‌ යන්නට තැබූ එක්‌ පියවරක්‌ තමයි මේක. “ෂා එෆ්.එම්” වලින් ඉවත් වුණත් මම අදටත් හිරු ටී.වී. වල හඬ කැවීම් සමග එක්‌ව සිටිනවා. ඒකයි මම කීවේ මේක හිත හොඳින් ගත් තීරණයක්‌ කියලා. කෙසේ වෙතත් “ෂා එෆ්.එම්” හි ප්‍රගමනයට මට සුවිශේෂීව දායක වීමට ලැබීම ලොකු සතුටක්‌.

මේ වන විට ඔබ අලුත් නිෂ්පාදන ආයතනයක නිර්මාණ එළිදක්‌වමින් පසුවන බවක්‌ පැවසුවා…

ඔව්. දැන් මම හුඟක්‌ වගකීම් තිබුණු තැනකින් නිදහස්‌ව සිටින නිසා හැම දෙයක්‌ම ගැනම පුළුල්ව සිතන්නටත් නිර්මාණවේදියකු ලෙස ඉස්‌මතු වෙන්නටත් හැකියාව ලැබී තිබෙනවා. ඉතිං දැන් වේලාවක්‌ කලාවක්‌ නැතිව වැඩ කරනවා. මගේ හිතවතෙක්‌ සමග නිෂ්පාදන ආයතනයක්‌ ආරම්භ කළා. ඒ හරහා ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ එළිදැක්‌වීම් සිදු කරනවා. එදා සිටම මගේ හීනයක්‌ව තිබුණේ කාටත් පොදු කෙනකු විදිහට වැඩ කිරීම. දැන් ඒ හීනය සැබෑ වෙමින් පවතිනවා.

ගීත නිබන්ධකයකු ලෙසත්, ගීත වෙනුවෙන් රූප රචනය නිර්මාණය කරන්නකු විදිහටත් ඔබ හැකියාවන් එළිදැක්‌වූවා. ඒ ගැන….

මෑත කාලයේ හුඟාක්‌ ජනප්‍රිය වූ “සිතුවෙවත් නැති දවසක” සහ ගායන ශිල්පී කවීෂ කවිරාඡ් ගයන” වෙලාවකට හින්දි තිරේ සිත්තමක්‌ වගේ” ගීතයත් මේ දිනවල “ඕල් රයිට්‌” සංගීත කණ්‌ඩායම ගායනා කරන “සන්තානේ පණ මාගේ” ගීයත් මා ලියූ ගී අතුරින් වඩාත් ජනප්‍රිය වූ ගීත. පසුගිය කාලයේ මම සීමා මායිම් මැද සිටිය නිසා ගීත නිබන්ධනය පැත්තෙන් වැඩි දෙයක්‌ කළ නොහැකි වුණා. නමුත් ඉදිරියේදී අපේ රටේ ප්‍රවීණ සහ ජනප්‍රිය ගායන ශිල්පින් කිහිප දෙනකුම මා ලියූ අලුත් ගීත ගයාවි. දෙරණ ඩී්‍රම් ස්‌ටාර්” වෙනුවෙන් එක්‌වූ යොවුන් ගායන ශිල්පී ලහිරු ප්‍රභාත් ගයන “මගේ රත්තරන්” ගීතයට රූප රචනය නිර්මාණය කළේ මම. ඊට අමතරව මාධ්‍යයට පිවිසෙන්නන් වෙනුවෙන් මගේ දැනුම ලබා දෙන්නත්, අත්දැකීම් බෙදාහදා ගන්නත්, ඉදිරියේදි වැඩසටහනක්‌ ක්‍රියාවට නැංවීමට බලා පොරොත්තු වෙනවා.

ඔබේ පාසලේ දී ඔබ සංවිධානය කරන “කොළපාට හැන්දෑව” පිළිබඳව කතා කළොත්…

“කොළපාට හැන්දෑව” කියන්නේ අලුත් ප්‍රාසාංගික අත්දැකීමක්‌ ලබාදෙන ප්‍රසංගයකට. ලබන මාසයේ 5 වැනිදා මහරගම යූත් රඟහලේ දී තමයි මෙය පැවැත්වෙන්නේ. මහරගම ජනාධිපති විද්‍යාලය කියන්නේ මා උගත් පාසලට. අපේ පාසලින් ගායක ගායිකාවෝ, නළු නිළියෝ ඇතුළු විශාල කලාකරුවන් පිරිසක්‌ ක්‌ෂේත්‍රයට බිහිව සිටිනවා. ඉතිං මේ හැමෝගෙම එකමුතුවෙන් මගේ සංවිධානයෙන් “කොළපාට හැන්දෑව” පැවැත්වෙන බව කියන්නේ සතුටින්. පාසලේ දී වගේම ගොඩිගමුව ශ්‍රී ධර්මාශෝක දහම් පාසලේදිත් මා ලැබූ ආභාෂයත්, මගේ මාධ්‍ය දිවියට මේ දක්‌වා අත්වැල් සැපයූ බවත් කිව යුතුයි.

ගිතයක්‌ නිසා… මුණගැසුණු කෙනෙක්‌ එක්‌ක නේද දැන් ජීවන ගීතය ගායනා කරන්නේ….

ඔව්. හංසි මට මුණ ගැසුණේ ගීතයක්‌ නිසා. අද ඇය මගේ ආදරණීය බිරිඳ. අපේ පුතා එකළු නිතින් විඡේසූරිය.

මොනවද ඉදිරි බලාපොරාත්තු…

මුලින් පැවසු පරිදිම මාධ්‍යවේදියකු හා නිර්මාණවේදියකු විදිහට එක තැනක හිර නොවී මා සතු හැකියාවන්ගෙන් රටට ලෝකයට වැඩක්‌ කිරීම තමයි එකම අරමුණ. ඉතිං.. මගේම ගමනක්‌ අලුතින් පටන් ගන්න හොඳම වෙලාව තමයි මේ. මෙතෙක්‌ පැමිණි ගමනට මට සහාය වූ මගේ පවුලේ සෑම සියලු දෙනාත්, මා එක්‌ව සිටි ආයතනයන්හි සියලු දෙනාටත් මට සැමදා ප්‍රතිචාර දැක්‌වූ දයාබර රසික ජනතාවටත්, කෘතවේදීත්වය පුද දෙන්න මෙය මට ලැබුණු ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ කර ගැනීමට කැමැතියි.

සුජීව තත්සර