rathana hamuduruwo
ප්‍රශ්නය – ඔබ වහන්සේ වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජය තුළ මන්ත්‍රී හිමිනමක ලෙස කටයුතු කරන්න අරන් කොපමණ කලක්‌ වෙනවාද?

පිළිතුර – වසර අටක්‌ විතර ඔව්. ……. වසර අටක්‌.

ප්‍රශ්නය – රටේ ආන්දෝලනයක්‌, මතයක්‌, විශ්වාසයක්‌ තියෙනවා ඔබ වහන්සේ ඉන්නේ දැඩි කලකිරීමක කියලා. ඒක ඇත්තක්‌ද?

පිළිතුර – ඔව්…. ඒ කලකිරීම මට විතරක්‌ නෙමෙයි. රජය තුළ ඉන්න විවිධ කණ්‌ඩායම් අඩු වැඩි වශයෙන් ඒ කලකිරීම තුළයි ඉන්නේ. ශ්‍රී ලංකා එකේ අයත් ඉන්නවා. මේ කලකිරීම ඇති වන්නේ අපි තනි පුද්ගලයෙක්‌ හැටියට කටයුතු කරන විට නොවෙයි. සමාජ නියෝජිතයන් හැටියට සමාජයේ වැඩ කරන විටයි. මම භික්‍ෂුන් වහන්සේ කෙනෙක්‌ හැටියට සමාජයේ වැඩ කරන විට මා අවට ඉන්න අයගේ හඬට ඇහුන්කන් දෙන්න වෙනවා. ඔවුන්ගේ අදහස්‌ උදහස්‌ පිළිගන්න බාරගන්න වෙනවා. ඔවුන් තුළින් නැඟෙන ප්‍රතිරෝධය මා තුළත් නැඟෙන විට එය සමාජයේ පුළුල්ව හඬ නැගෙන විට තමයි මේ කලකිරීම ප්‍රකාශ වෙන්නේ. සමහර අය අහන ප්‍රශ්න වලට අපට දෙන්න උත්තර නෑ.

ප්‍රශ්නය – රජය ගැන රජයේ වැඩ ගැන පිටස්‌තර අය ඔබ වහන්සේගෙන් අහන ප්‍රශ්නවලට දෙන්න උත්තර නැහැ කියන්නේ ඓද්‍රීයව ඔබ වහන්සේ රජයේ වැඩපිළිවෙළ සමඟ ඉඳල නැහැ කියන එක නොවෙයිද?

පිළිතුර – රජයේ වැඩපිළිවෙළ සමඟ ඓද්‍රීයව සම්බන්ධ වෙලා වැඩ කරන්න අපි උත්සාහ කළා. නමුත් සම්බන්ධ වෙන්න තැනක්‌ තිබුණේ නැහැ. මුලදී අපිත් එකඟ වුණ මහින්ද චින්තන වැඩපිළිවෙළ රටේ හොඳින් ක්‍රියාත්මක වුණා. මුල් අවුරුදු 5 තුළ ජනතාව තුළ ඒ ගැන පිබිදීමක්‌ ඇති වුණා. ඉන් පසු අනිත් පැත්තට හැරිලා ආපස්‌සට යන්න පටන් ගත්තා. ඉන් පස්‌සේ පසුගිය අවුරුදු 3 ක විතර කාලයක්‌ තුළ අපට දිගින් දිගටම රජය සමඟ ගැටෙන්න සිදු වුණා. අපේ හඬට තැනක්‌ ලැබුණේ නැහැ. වටිනාකමක්‌ ලැබුණේ නැහැ.

ප්‍රශ්නය – උදාහරණ දෙමින් කියන්න.

පිළිතුර – මතට තිත ගන්න… මුලදී හොඳින් ක්‍රියාත්මක වුණා. පසුව මත්කුඩු, මත්ද්‍රව්‍ය, මත්පැන් රට පුරාම ගම් දනවු හරහා පැතිර ගියා. මත්කුඩු විශාල වශයෙන් පැතිරිලා. එයට දේශපාලන මැදිහත්වීමකුත් තියෙනවද කියල රටේ සැකයක්‌ තියෙනවා.

උතුරේ ගෙවල් හැදිල්ල ඉන්දියාවට දෙන්න එපා කියල අපි කිව්වා. රජය ඒක ඉන්දියාවට දුන්නා. තෙල් බේත්, වස විස රටට එපා කියල අපි කිව්වා. රජය බහුජාතික සමාගම්වලට යට වෙලා ඒවා වැළඳ ගත්තා. අපේ විරෝධය මත කැසිනෝ පනත ගෙනාවා. අපි විරුද්ධ වුණා. රජය අපේ විරෝධය නොතකා ක්‍රියා කළා. අපේ විරෝධයට වටිනාකමක්‌ ලැබුණේ නැහැ. අන්තිමේ අපි තීරණය කළා මේ රජය සමඟ මේ විදියට යන්න බැහැ කියලා. මේ අවුරුදු තුනම අපි එක එක දේවල්වලට රජය සමඟ ගැටුණා. අපි හිතන දේ මේ රජයත් එක්‌ක කරන්න බෑ කියන තැනට අපි ආවේ ඒකයි.

ප්‍රශ්නය – ඔය කියන්නේ පසුගිය අවුරුදු 3 ක කාලය තුළ රජය යම් අදෘශ්‍යමාන බලවේගයකට නතු වුණා කියන එකද? නැත්නම් මේ ඉන්න ප්‍රධානියෝ පිරිහුණා කියන එකද?

පිළිතුර – මේකයි. අපිට අත්දැකීමක්‌ තියෙනවා. ඕනම ආණ්‌ඩුවක්‌ ජන බලවේගයක්‌ තුළින් ඇවිත් බලයට පත් වුණාට පස්‌සේ ඒ රජය, ඒ බලවේගය වෙනුවෙන් වැඩ කරන්නේ ටික කාලයයි. ඉන් පස්‌සේ ඒ රජය ප්‍රාග්ධන,ආණ්‌ඩුව දණ ගස්‌වන
බලවේග ගැන හිතන්න පටන් ගන්නවා. කවුද ඊළඟ ඡන්දෙට තමන්ට සල්ලි දෙන්නේ, කවුද අපිව බලාගන්නේ කියලා හිතනවා. ඊට පස්‌සේ අන්න ඒ විදේශීය සමාගම්, විදේශීය ආයතන තමයි ආණ්‌ඩුවේ බලවේග බවට පත්වෙන්නේ. රජය ඒ බලවේග වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. උදාහරණයක්‌ හැටියට බලන්න රජයේ ප්‍රබල ඇමැති කෙනෙක්‌ වන මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ නීතියක්‌ සම්මත කරලා ගෙනාවා දුම්කොළ හා මද්‍යසාර රූපමය අවවාදය කියලා දෙයක්‌. පාර්ලිමේන්තුව සම්මත කළා. නමුත් ඒක ක්‍රියාත්මක වුණාද? අධිකරණය ඒක වැළැක්‌වූවා. ඒකෙන් අපට තහවුරු වෙනවා පාර්ලිමේන්තුවටත් වඩා දුම්කොළ හා මද්‍යසාර සමාගම්වල සල්ලි බලවත් කියන එක. ව්‍යවස්‌ථාදායක සභාවේ නීතියට වඩා වැදගත්.

ප්‍රශ්නය – ඔබ වහන්සේ කියන්නේ පාර්ලිමේන්තුව වගේ අධිකරණ ක්‍ෂේත්‍රයත් බහු ජාතික සමාගම් වටලලා කියන එකද?

පිළිතුර – ඔව්……. අද අධිකරණය පිළිබඳ මහජනතාවගේ විශ්වාසයක්‌ නෑ. පාර්ලිමේන්තුව හදන නීතියක්‌ කොහොමද අධිකරණය ආපසු හරවන්නේ. මේ ගැන විපක්‍ෂය වත් අද හරියට ප්‍රශ්න කරන්නේ නෑ. විපක්‍ෂ නායකතුමා පවා මේවාට උත්තර දිය යුතුයි. එයාලා වුණත් මේ බහුජාතික සමාගම්වලට කැසිනෝකාරයන්ට රිදෙන්න ගහන්නෙ නැහැ. මොකද එයාලගේ ඡන්දවලටත් ඊළඟට සල්ලි දෙන්නේ මේ සමාගම් බව එයාලත් දන්නවනේ. ඒකයි මේ ක්‍රමයේ හැටි.

ප්‍රශ්නය – දැන් රටට ළඟ ළඟම ජනාධිපතිවරණ ඡන්දයක්‌ හෝ මහ මැතිවරණයක්‌ නියත බව පැහැදිලියි.

පිළිතුර – ඔව්….. පසුගියදා (15 දා) ජනාධිපති සන්ධානයේ පක්‍ෂ නායකයෝ ගෙන්නලා කියල තියෙනවානේ තියෙන්නේ ජනාධිපතිවරණයක්‌ කියලා.

ප්‍රශ්නය – එහෙනම් ලබන ජනවාරියේ ජනාධිපතිවරණයක්‌ එන බව සිකුරුයි. ජනාධිපති මහින්ද ඊට අපේක්‍ෂකයෙක්‌ ලෙස ඉදිරිපත් වෙනවා කියල රටේ විශ්වාසයක්‌ තියෙනවා. මේ වෙලාවේ ඔබවහන්සේ කරලියට ඇවිත් ගෙන යන මේ විරෝධතාවය තුළ සන්ධාන රජයට විරුද්ධ බලවේග වලට ලොකු වාසියක්‌ වෙනවා. ඔබ සූදානම් වෙන්නේ සන්ධානයේ බලවේග දෙකට බෙදා දී විපක්‍ෂයේ අපේක්‍ෂකයාට දිනන්න වේදිකාව හදලා දෙන්නද?

පිළිතුර – අනේ මේ…… මම රතන හාමුදුරුවෝ. මට පුළුවන්ද සන්ධානය බෙදන්න. ඔය ඉන්න ඇමැතිවරු බෙදන්න. එහෙමනම් මම මහ ලොකු බලවේගයක්‌ මෙහෙයවන නියමුවෙක්‌ වෙන්න ඕන. එහෙම නැහැනේ.

ප්‍රශ්නය – නැත්තෙම නෑ. ඔබ වහන්සේ එහෙම බලවේගයක්‌ මෙහෙයවන නායකයෙක්‌. ඒත් ඔබ කුමන්ත්‍රණයකට හසු වී ඇති බවයි රජයේ බලවේග කියන්නේ.

පිළිතුර – ඕක නොවෙයි කතාව. ඇත්තම කියනවා නම් මට ඒ වගේ බලවේගයක්‌ තියෙනවා කියල කියන්නේ ආණ්‌ඩුවට ලොකු අර්බුදයක්‌ තියෙනවා කියන එක නොවෙයිද? අපි කෘමිනාශක සමාගම් ගැන විවේචන කරන කොට ඒ කාලේ ආණ්‌ඩුව අපිට දොස්‌ කිව්වා. පාන් පිටිකාරයන්ටත් කොන්ත්‍රාත්කාරයෝ කියලා ආණ්‌ඩුව කිව්වා. ජනතාව බත් කන එක නතර කරන්න හදනවා කියලා.

ආණ්‌ඩුව අද කල්පනා කරන්න ඕන රතන හාමුදුරුවෝ රජය විවේචනය කරන කොට රතන හාමුදුරුවෝ ජනතාව අතර වීරයෙක්‌ වෙන්නේ ඇයි. ඒ කියන්නේ ජනතාව අතර මේ ආණ්‌ඩුව පිරිහිලා, තියෙනවා කියන එක නේ. ඇත්තම කියනවා නම් අද වන විට මා සමඟ කතා කරන පිරිස වැඩිවෙලා මගෙන් බණ අහන්න එන පිරිස වැඩි වෙලා තියෙනවා. එහෙම වෙන්නේ ඇයි. මම ආණ්‌ඩුව රකින්න ගියා නම් මට පාරේ බැහැලා යන්න බෑ. මට බණ කියන්න බෑ. අද රජය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිලා. ඒකයි ඇත්ත. එහෙම නැතුව මම කැරලි ගහන්න යනවා නොවෙයි. මම කුමන්ත්‍රණකාරයෙක්‌ නොවෙයි.

ප්‍රශ්නය – ඒ වුණාට ඔබේ වැඩපිළිවෙළ ගැන තවම ජාතික හෙළ උරුමයේත් පොදු එකඟතාවක්‌ නැහැනේ. ඔබවහන්සේ අද කියනවා ආණ්‌ඩුවෙන් යන්න ඕන කියලා. චම්පික ඇමැතිතුමා වගේ අය කියනවා ආණ්‌ඩුව සමඟ කේවල් කරන්න ඕන ආණ්‌ඩුව තුළම ඉඳිමින් කියලා. ආණ්‌ඩුව සමඟÊතව කතා කරන්න ඕන කියනවා. මේකම ලොකු විසංවාදයක්‌ නේ.

පිළිතුර – අපි අතර කිසිම විසංවාදයක්‌ නෑ. චම්පික ඇමැතිතුමා රජයේ ඇමැතිවරයෙක්‌. එතුමා රජය සමඟ සාකච්ඡා කළ යුතුයි තමයි. අපි ඒ වගකීම ඔහුට පවරලයි තියෙන්නේ. ඒක විසංවාදයක්‌ නොවෙයි. මම මේ කරන්නේ කුමන්ත්‍රණයක්‌ නොවෙයි. මම මේ කරන්නේ රටට යහපත් දෙයක්‌. 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ යෝජනාව ගෙනත් ඒක රට හමුවේ තියලා කාගෙ කාගෙත් සාකච්ඡාව සඳහා රටට ඉදිරිපත් කළේ ඒ තුළින් රටට හොඳක්‌ වෙන නිසයි. රටේ ප්‍රශ්න, අද තියෙන අර්බුද විස¹ ගන්නා මාර්ගය ඒ යෝජනාව තුළ තියෙනවා. රජය ඒක ගැන උනන්දු වෙලා බාර ගත්තොත් ඒක හොඳ රටට මිස මට නොවෙයි.

ප්‍රශ්නය – නමුත් හාමුදුරුවනේ. මේ වෙලාව තීරණාත්මකයි. ජාත්‍යන්තර බලවේග, බෙදුම්වාදය පරාජය කරමින් රජය, ජනාධිපතිතුමා අසීරු ගමනක්‌ යමින් ඉන්නේ. මේ වෙලාවේ ඔබ වහන්සේලා ඇතුළු බෞද්ධ බලවේග රටේ ලොකු හැලහැප්පීමක්‌ ඇති කිරීම සතුරන්ගේ අතට ආයුධ දීමක්‌, බෙදුම්වාදය ආපසු කැඳවීමක්‌ නොවෙයිද හාමුදුරුවනේ.

පිළිතුර – අපි බලාපොරොත්තු වුණා ආණ්‌ඩුව අපි බලාපොරොත්තු වුණ යහපත් අරමුණු ඉටු කරාවි කියලා ජනතාවගේ ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණා නේ. මතට තිත, ජාතික ආර්ථිකයක්‌, සාහිත්‍ය කලාවේ පුනර්ජීවනයක්‌, රටේ යහ පාලනයක්‌, ජීවත්වෙන්න පුළුවන් සුදුසු පරිසරයක්‌ ඇති කරාවි කියලා ජනතාව හිතුවනේ. තව ගොඩක්‌ දේවල් බලාපොරොත්තු වුණා. නමුත් ඉහමොළ තියෙන මිනිසුන්ගෙන් අහල බලන්නකෝ ඒ දේවල් එකක්‌වත් වෙලා තියෙනවද කියලා නැහැනේ රටේ ජනතාවට බලාපොරොත්තු වූ සහනය දෙන තැනට රට හැදිලා නැහැනේ. නැහැනේ. නේද?

අනිත් අතින් ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්‌ද? මේ ආණ්‌ඩුව හදල තියෙන අපේ රටේ දේශීය ව්‍යාපාරිකයා කවුද? හදල තියෙනවා කැසිනෝකාරයෝ. හදල තියෙනවා අරක්‌කුකාරයෝ.

අධ්‍යාපනයට මොකද කරල තියෙන්නේ. අද රටේ පාසල් අධ්‍යාපනය, උසස්‌ අධ්‍යාපනය කියන දෙකම විනාශ කරලා. රටේ තියෙන්නේ ඉබාගාතේ යන අධ්‍යාපන ක්‍රමයක්‌. ඒ තුළින් ජාත්‍යන්තර පාසල හරහා රටක්‌ නැති ආගමක්‌ නැති, ජාතියක්‌ නැති සංස්‌කාතියක්‌ නැති පරිගණක රස්‌තියාදුකාරයන් පිරිසක්‌ රටට බිහිකරලා තියෙනවා. ඉස්‌සර හිටියේ බෝක්‌කු උඩ වාඩිවෙලා ඉන්න රස්‌තියාදුකාරයෝ. අද ඉන්නේ පරිගණක රස්‌තියාදුකාරයෝ

රෑ පාන්දර වෙනකන් නිදිවරණ, උදේ 10.00 – 11.00 වනතුරු නිදා ගන්න, අපේ පොළවට අපේ සංස්‌කෘතියට අපේ මිනිස්‌සුන්ට කිසි සම්බන්ධයක්‌ නැති, සාහිත්‍යයෙන් පණ පොවාපු අධ්‍යාපනයක්‌ නැති පිරිසක්‌ බවට අපේ පරම්පරාව පත් කරල තියෙනවා. මේකට කවුද වගකියන්නේ.

ප්‍රශ්නය – හරි හාමුදුරුවනේ. මේ ප්‍රශ්න ඔක්‌කොම තියෙනවා තමයි. මම අහන්නේ මේ ප්‍රශ්න කතා කරන්න මේ විවේචන ගේන්න මේ වගේ තීරණාත්මක මොහොතක තීරණාත්මක ජනාධිපතිවරණයක්‌ එන්නම ඕනද. එහෙමනම් ඒකේ තියෙන දේශපාලනය මොකක්‌ද?

පිළිතුර – අන්න හරි තැනට ආවා. දැන් තමයි වෙලාව. මේ ප්‍රශ්නය, මේ සටන අපි කලින් ගෙනාවා නම් අපේ සටන වලංගු භාවයක්‌ නැහැනේ. ජනාධිපතිවරණය පෙනි පෙනී මේ යෝජනා ගෙනාවාම තමයි ප්‍රශ්නයට නිසි වටිනාකමක්‌ ලැබෙන්නේ. දේශපාලනය ගැන දන්න අය දන්නවා. මේ වගේ සටනක්‌ මේ වගේ යෝජනාවක්‌ මේ වගේ විරෝධතාවක්‌ රට හමුවට, සමාජය හමුවට ගේන්න ඕන වෙලාව මොකක්‌ද කියලා. සටනක්‌, ඉල්ලීමක්‌ බලවේගයක්‌ බවට පත් වෙන්නේ එහෙමයි. යමක්‌ කරගන්න පුළුවන් බලපෑමක්‌ කරන්න පුළුවන් සුදුසුම වේලාව මේකයි. දේශපාලන සංවේදීතාවය කියන්නේ ඕකට. අපි කියන දිසාවට ආණ්‌ඩුව හැරවිය හැකි සුදුඣ්සුම වෙලාව තමයි මේක.

ප්‍රශ්නය – ඔබවහන්සේලා මේ කරන්න හදන්නේ නිවැරැදි දිසාවට ආණ්‌ඩුව හැරවීම ද, එහෙම නැතිනම් ආණ්‌ඩුව වෙනස්‌ කිරීමද? ආණ්‌ඩුව වෙනස්‌ කිරීමට සූදානමක්‌ තිබෙන බවයි පේන්නේ.

පිළිතුර – අපි බලන්නේ ආණ්‌ඩුව මේකට හිර කරවා ගන්න. අපේ යෝජනාව අතරින් ආණ්‌ඩුව දණ ගස්‌වා ගන්න. අපි නිසැකවම ආණ්‌අඩුව දණ ගස්‌සවනවා. ඒක තමයි අපේ මූලික අරමුණ. ආණ්‌ඩුව දණ ගැස්‌සවීම. අවසාන මොහොත එන තුරු අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. උත්සාහ කරනවා.

ප්‍රශ්නය – ඒ විශ්වාසය ඔබවහන්සේලා තබන්නේ සරත් ෆොන්සේකා, රනිල් වික්‍රමසිංහ, මාදුළුවාවේ සෝභිත හිමි යන අය කෙරෙහි විශ්වාසය තබමින් ද?

පිළිතුර – දැනට අපි එහෙම කිසිම කෙනෙක්‌ ගැන විශ්වාසයක්‌ තබලා නැහැ. පොදු අපේක්‍ෂකයෙක්‌ ගැන හිතලා නැහැ. අපි දැනට බලන්නේ ජනාධිපතිවරණය කැඳවනවා නම් ඊට සූදානම් වෙනවා නම් අපි කියනවා… එපා ජනාධිපතිවරණය කැඳවන්න. එපා තියන්න. අපි ඔන්න කෙටුම්පතක්‌ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි 19 වැනි සංශෝධනය පිළිබඳ ලියවිල්ල ඒක බලන්න. ජනාධිපතිවරණයට පෙර ඒක ක්‍රියාත්මක කරන්න කියලයි අපි කියන්නේ. අපි ඒ සඳහා රජයට බල කරනවා. පීඩනයක්‌ එල්ල කරනවා.

ප්‍රශ්නය – පොදු අපේක්‍ෂකයෙක්‌ ගැන තවම හිතල නෑ…? ජනතාවට එහෙම සැකයක්‌ තියෙනවා. රනිල්ලා, සෝභිත හිමිලා, ෆොන්සේකලා ඔබ වහන්සේගේ රැස්‌වීම්වලට ගෙන්න ගන්න කොට.

පිළිතුර – දෙයියනේ ඒක මගේ තියෙන දක්‍ෂතාවය නේ. කුසලතාවයනේ. මම විපක්‍ෂයේ ඉන්න හැම කෙනෙක්‌වම කවමදාවත් හතුරු විදියට විවේචනවලට නතු කරල නැහැ. මම දැඩි දේශපාලන විවේචන කරල තියෙනවා. ඒත් පෞද්ගලික මඩ ගැසීම් හෝ වෛරී විවේචන කරල නැහැ. ඒ නිසා කිසි කෙනෙක්‌ මා සමඟÊතරහා නෑ. එජාපයේ, ජවිපේ, ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ වගේම අනෙක්‌ ඕනෑම සංවිධානයක අය මා කතා කළොත් යමකට එනවා. බැසිල් ඇමැතිතුමා, ඩිව් ඇමැතිතුමා, තිස්‌ස විතාරණ ඇමැතිතුමා වගේ අයත් ආවනේ. මම ජනාධිපතිතුමා සමඟත් ඒ වගේම කතා කරනවා.

ප්‍රශ්නය – ඔබ වහන්සේ මේ ගැන ජනාධිපතිතුමා සමඟ පෞද්ගලිකව කතා කරල නැද්ද?

පිළිතුර – කතා කරල තියෙනවා. ඌව ඡන්දය පවතින අතරතුර කතා කළා.

ප්‍රශ්නය – මොකද ඔබ වහන්සේට කිව්වේ. ඔබලාගේ උපකාර ඇතත් නැතත් මම ඡන්දෙට යනවා කියල කිව්වද?

පිළිතුර – උපකාර ඇතත් නැතත් කියල කිව්වේ නෑ. නමුත් ඡන්දෙකට යනවා කියලා කිව්වා. මම ඒක පත්තරවලට කිව්වේ නැහැ. නමුත් එතුමා දැන් ඒ ගැන ප්‍රකාශයක්‌ කරලා නේ. එතුමා ඡන්දෙට යනවා කියල කිව්වා.

ප්‍රශ්නය – ඡන්දයකට යනවා කියල කියන්නේ ඔබලාගේ වැඩපිළිවෙළ ප්‍රතික්‍ෂේප කරනවා කියන එක නේද?. තව කල් තියෙනවා තමයි. ඒත් වැඩපිළිවෙළට පිටුපාලා ඡන්දෙකට ගියොත් ඔබලා ඊළඟට මොනවද කරන්නේ?

පිළිතුර – ඊට පස්‌සේ කරන දේ ගැන තමයි සෑහෙන්න කල්පනා කරන්න ඕන. මම නම් කියන්නේ ඉස්‌සර වෙලා අපි බලවේගයක්‌ වෙන්නයි ඕන. ඊට පස්‌සේ තමයි දේශපාලන සමීකරණය ඇතුළෙන් අපිට යම් සාකච්ඡාවකට ඇතුළු විය හැක්‌කේ. අපි බලවේගයක්‌ වෙනවා.

ප්‍රශ්නය – ඒ බලවේගය ගොඩනැගීම සඳහා ඔබලාගේ ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන ප්‍රතිවාදීන් එන්නේ කොහොමද? රනිල්, සෝභිත හිමි, ෆොන්සේකා වගේ අය…… එතකොට දේශපාලන සමීකරණය කොහොමද භාරදෙන්නේ

පිළිතුර – ඒක ප්‍රශ්නයක්‌ නොවෙයිනේ. මම කළේ 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා යෝජනාවලියක්‌ හැදීම. ඒක රටට ඉදිරිපත් කිරීම. ඒ සඳහා සංවාදයට මම රජයේ බලවේගවලට වගේම විපක්‍ෂයේ බලවේගවලටත් ආරාධනා කළා. ඒක වරදක්‌ නොවෙයිනේ. ඒ අය ආවා. ඉතින් අපි සංවාදය දිගින් දිගටම අරන් යනවා. ඒක වැරදි නැහැ. මම දන්නවා ඔය හැම පක්‍ෂයක්‌ම මට කැමතියි. මට ආදරෙයි.

ප්‍රශ්නය – හෙළ උරුමයේ අනාගත වැඩපිළිවෙළ මොකක්‌ද? ආණ්‌ඩුවෙන් එළියට ගොස්‌ පොදු අපේක්‍ෂකයාට සහයෝගය දී වෙනම ජනාධිපතිවරයෙක්‌ හා වෙනම රජයක්‌ පිහිටුවීම ද. එහෙම නැතුව විවේචනාත්මක බලපෑම් කණ්‌ඩායමක්‌ව රජයේම දිගින් දිගටම කටයුතු කිරීමද? මොකක්‌ද ඊළඟÊපියවර.

පිළිතුර – මම මගේ ස්‌ථාවරය කිව්වානේ. මේ ව්‍යවස්‌ථා සංශෝධනය නොසලකා මේ රජය ජනාධිපතිවරණයකට යනවා නම් මම මේ රජය පරාජය කිරීමේ දේශපාලන වැඩපිළිවෙළකට යනවා. ඒක නිසැකයි. හැබැයි මම සියල්ලට පෙර මේ ගැන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මා සමඟ සිටින බලවේග සමඟ සාකච්ඡා කරනවා. ඒ අයත් සමඟ තමයි මම මේ ගමන යන්නේ. මා සමඟ ඒ සඳහා 40 දෙනෙක්‌ පමණ මේ රජයේ ඉන්න ප්‍රබල චරිත සාකච්ඡා කරල තියෙනවා.

ප්‍රශ්නය – රජයෙන් එළියට බැහැලා හුදෙකලා සටනකට ඒ අය කැමතිද?… එයිද?

පිළිතුර – එයිද මම දන්නෙ නැහැ. හැබැයි මා සමඟ කතා කර එකඟතාව පළ කරල තියෙනවා. වාසු ඇමැතිතුමා, ඩිව් ඇමැතිතුමා, තිස්‌ස විතාරණ ඇමැතිතුමා මේකට කැමතියි. එකඟතාව පළ කළා. මම ඊළඟ පියවරත් ඒ අය සමඟ කතා කරනවා. 40 දෙනෙක්‌ පමණ එකඟතාව පළ කර මා සමඟ කතා කරලා තියෙනවා. ඒ අයත් සමඟ කතා කරල තමයි මම ඊළඟ පියවර තීරණය කරන්නේ. හැබැයි නිසැකවම දේශපාලන පියවරක්‌ ගන්නවා. ඒ තුළ අපි ආණ්‌ඩුව දණ ගස්‌සවනවා.

බුලිත ප්‍රදීප් කුමාර : දිවයින පුවත් පතින්…