Mawbima

මොකක්ද චන්දි මේ
නම් පටලැවිල්ල?
ඔව්. මෙච්චර කාලයකට සිංහල සිනමාවේ හිටියේ එකම එක චන්දි රසිකා කෙනෙක් විතරයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි මම. ඒත් මෑතකදී ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණ චන්දි රසිකා රණතුංග නිසා මම හුඟක් අපහසුතාවට ලක් වුණා. මම එහෙම කෙනෙක්ව අඳුරන්නෙත් නෑ… දැකලත් නෑ… එයාලගේ ජීවිතේ පෞද්ගලික ප්‍රශ්නයක් මාධ්‍යයෙන් කතා කරන්න ගිහින් නම් පටලවා ගත්තා. සමහරු ඒ ප්‍රශ්නයට මැදිවෙලා තියෙන්නේ මම කියලා හිතුවා. පුවත්පත් මාධ්‍යවල චන්දි රසිකා කියන නම විතරක් පාවිච්චි කළා. ඒත් එක්තරා වෙබ් අඩවියක මගේ පිංතූරයක් පාවිච්චි කරල තිබුණා… මගේ පින්තූරයත් එක්ක තව කෙනෙක්ගේ ප්‍රවෘත්තියක් පළ කරන එක කොච්චර අසාධාරණද? අනිත් එක ඒ ප්‍රවෘත්තියත් සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි නේ. අතිශය පෞද්ගලික ප්‍රවෘත්තියක්.

නම නිසා චන්දි අපහසුතාවට පත්වෙලා වගේ…?
නැත්නම්… මොකක්ද වුණේ කියලා සමහරු මට කතා කරලා ඇහුවා. එතකොට තමයි මම දැන ගත්තේ මේ සිද්ධිය. මම දැන ගන්නකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. සතියක් තිස්සේ ඔය වෙබ් අඩවියේ මගේ පිංතූරෙත් එක්ක ඔය ප්‍රවෘත්තිය තිබුණා. මම විවාහ වෙලත් නෑ… මට දරුවොත් නෑ… මනුස්සයෙක් මගේ පස්සෙන්වත් මම මනුසයෙක්ගේ පස්සෙන්වත් ගියෙත් නෑ… දන්න සහ අහන අයට වෙලා තියෙන්නේ වැරදීමක් කියලා කියන්න පුළුවන්. ඒත් නොදන්න අයට, මං ගැන දැනටමත් වැරැදි වැටහීමක් ඇති කරගත් අයට ඒ වැරැද්ද නිවැරැදි කරන්නේ කොහොමද?

වෙබ් අඩවියට කතා කළාද?
කතා කරන්න කෙනෙක් ඉන්න ඕනෑනේ. කවුරු කරනවාද, මොන පදනමකින් කරනවාද දන්නෙ නැහැනේ. මේ වෙබ් අඩවිය ගැන හොයලා බලන්න, මට වෙච්ච අසාධාරණයට සාධාරණයක් කරන්න මම නීතියේ පිහිට පතනවා.
ඒ කියන්නේ වෙබ් අඩවියට විරුද්ධව නඩු කියනවාද?
හුඟක් අය කිව්වා නඩු දාන්න කියලා. ඒත් අවුරුදු ගණනක් උසාවි වල ඇවිදල මට ඇතිවෙලා තියෙන්නේ… මම පොලිසියටයි, රහස් පොලිසියටයි පැමිණිලි කළා. නීතියෙන් සාධාණරයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

නඩු කියන්නේ නැත්නම් මොකක්ද බලාපොරොත්තු වන සාධාරණය?
සතියකට පස්සේ මගේ පින්තූරෙ ඉවත් කරලා තිබුණා. ඒත් තමන්ට වැරැද්දක් වුණා කියල ඒ අය පිළිගගත්තෙත් නෑ.. සමාව ගත්තෙත් නෑ… මට ඕනෑ තමන්ගෙ වෙබ් අඩවිය වැරැදීමකින් ඒ ඡායාරූපය පළ කළේ කියලා සඳහන් කරලා කරපු වැරැද්දට සමාව ගැනීම විතරයි. මොකද හොයලා බලන්නෙ නැතුව එයාලා කරපු ඒ වැරැද්ද නිසා මම කොයිතරම් අපහසුතාවට පත් වුණාද? මම නිවැරැදිකාරියක් කියලා ඒත්තු ගන්වන්න පසුගිය දවස් ටිකේ කොයිතරම් මහන්සි ගත්තද? පොලිසියට, රහස් පොලිසියට කී සැරයක් ගියාද? මේ දේවල්වලට වියදම් කරන්න මුදල්වත් කාලයවත් මට දැන් නෑ… ඊට වඩා මම කොච්චර මානසිකව වැටුණාද? කෙනෙක්ව මනසින් වට්ටනවාට වඩා හොඳයි මරලා දාන එක.

මේ කරදර අස්සේ චන්දිට උපහාර සම්මානයකුත් ලැබුණා නේද?
ඔව්. සතිශ්චÂද්‍ර එදිරිසිංහ මහත්මයා සභාපතිත්වය දරන මිහිඳු සංගමයෙන් සැප්තැම්බර් 6 මට උපහාරයකුත් තිළිණයකුත් ප්‍රදානය කළා… සතිශ් අයියා කියන්නේ රංගන ජීවිතේ හැමදාම මාව අගය කළ කෙනෙක්. අපි ඉස්සෙල්ලාම එකට රඟපෑවේ ‘කරාටේ ජෝ’ චිත්‍රපටයේ. සතිශ් අයියා මට කියලා තියෙනවා “ඔබ මැණිකක්. ඒත් රටේ අයට අගේ නෑ” කියලා… සතිශ් අයියාගේ තිබුණු ඒ හිතවත්කම අදටත් එහෙමමයි… මේ ක්‍ෂේත්‍රයේ නළුවො විදියට මට මෑතකදී උදව් කරපු එකම එක්කෙනා සතිශ් අයියා විතරයි.
නමුත් විජය කුමාරතුංගත් ජීවතුන් අතර හිටපු කාලේ ඔබට උදව් කළාද…?
ඔව්… විජය අයියා ජීවතුන් අතර හිටියා නම් මම අද මේ වගේ දුක් විඳින්නෙ නෑ…

විජය උදව් කරන්න විශේෂ හේතුවක් තිබුණාද?
ඔව්… විජය අයියාව මම දන්නේ පුංචි කාලේ ඉඳන්. මගේ අක්කාගේ මහත්තයා විජය අයියා වෙනුවෙන් දේශපාලන වේදිකාවටත් නැගපු කෙනෙක්… කොහොමත් මගේ මස්සිනා නිසා විජය අයියා අපේ පවුලත් එක්ක සමීප සම්බන්ධයක් තිබුණා…
චන්දිත් විජය වෙනුවෙන් දේශපාලන වේදිකාවට නැග්ගාද?
නෑ… ඒත් මම නගින්න හිටියේ… මම විජය අයියට උදවු කරන්න හිටියේ. ඒත් ඊට කලින් එයා අපෙන් වෙන්වුණානේ… හැබැයි මම එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නම් දේශපාලන වේදිකාවට නැග්ගා…

ඒ කොයි කාලෙද?
මට ඡන්දෙවත් නැති කාලේ. ප්‍රේමදාස මහත්තයාගේ කාලේ. සුනේත්‍රා රණසිංහ තමයි මට දේශපාලන කතා පුරුදු කළේ…
චන්දිගේ පවුලේ උදවිය එක්සත් ජාතික පක්‍ෂයේද?
නෑ… හැමෝම තද ශ්‍රී ලංකා…
එහෙනම් චන්දි UNP වුණේ…?
අයියාට රිද්දන්න… අයියාගේ බිරිය නිසා මගේ අම්මා හිත් වේදනාවෙන් මැරුණා… අයියා නිසා අම්මා මැරුණේ කියන දේ තදින් මගේ හිතේ වැදුණා… මට ඕනෑ වුණා අයියාට රිද්දන්න. ඒකයි මම UNP එක දිනවන්න වේදිකාවට නැග්ගේ… නොදන්න කමට කරන වැඩක්… හැබැයි පස්සේ මම හැඟීමෙන්ම ඒ පක්‍ෂයට වැඩ කළා. ගාමිණී දිසානායක මහත්මයාටත් වැඩ කළා. ගාමිණී දිසානායක මහත්මයා තරම් කලාකරුවන් වෙනුවෙන් වැඩකරපු කෙනෙක් නැති තරම්. එතුමාගේ මරණයත් විජය අයියාගේ මරණය වගේම මට කම්පනයක් ඇති කළා.

කොහොමද චන්දි සිනමාවෙන් ලොකු දුරක් ආවා. සම්මානනීය නිළියක් වුණා…
ඔව්… 1985 ‘අරුණට පෙර’ චිත්‍රපටයට හොඳම නිළිය සම්මානය ලැබුණා. ර්ණීඛ්ධ්ඛ් ජනාධිපති වගේම සිංහ සමාජයෙනුත් මට හොඳම නිළි සම්මානය ලැබුණා… ඊට පස්සේ ‘යුවතිපති’ චිත්‍රපටය නිසා මම තවත් ජනප්‍රිය වුණා… ඇත්තටම ඒ කාලේ මගේ රංගන ජීවිතේ හොඳම කාලේ. අරුණට පෙර චිත්‍රපටය කරපු අමරනාත් ජයතිලක මහත්මයාට අදත් මම කෘතඥ වෙනවා. ඒ වගේම තමයි ඔහුට මාව අඳුන්වලා දුන්නේ රොබින් ප්‍රනාන්දු.

පීක් එකේ හිටපු චන්දි ඇගේ වෛරය නිසා සිනමාවෙනුත් සමුගත්තා…?
ඔව්… ඇගේ වෛරය නිසා මම නැත්තටම නැතිවුණා… මගේ ජීවිතේ විනාශ වුණා.
ඇගේ වෛරය ඔබේ නිෂ්පාදනයක්ද…?
මම කළේ ඇගේ වෛරය නෙමෙයි ‘සමනල දඩයම’ විජය අයියා මාව ගොඩදාන්න හිතාගෙන තමයි ඒ චිත්‍රපටයට රඟපාන්න සම්බන්ධ වුණේ. ඒත් ඔහුට ඒක කරන්න ලැබුණෙ නෑ… ඊට කලින් විජය අයියාට වෙඩි තිබ්බා… ලුවී වැන්ඩස්ටර් එක්ක එකතුවෙලා තමයි මම චිත්‍රපටය කරන්න ගත්තේත්. ලුවීත් අපේ පවුලේ හිතවතෙක්. පස්සේ ලුවී චිත්‍රපටයෙන් අයින් වෙලා මට අයිතිය දුන්නා. අඩි 10,000 දළ සේයාපටයක ප්‍රමාණයට කරලා තිබුණේ. මගේ මස්සිනා දළ සේයා පටයට සල්ලි දුන්නා. කොහොමහරි චිත්‍රපටය කරගෙන යද්දි මට මුදල් නැතිව හිර වුණා… ඊට පස්සේ ලුවීම එයාගෙ යාළුවෙක් වුණ ‘ෆයිසාර් මකින්ට’ අස්සන් කරලා චිත්‍රපටයේ අයිතිය දුන්නා. එයාට චිත්‍රපටය ගැන ලොකු දැනුමක් තිබුණෙත් නෑ. ඒ නිසා එයා කිව්වා චිත්‍රපටය රිලීස් වුණාම මගේ වියදම් දෙන්නම් කියලා. මම ඒකට එකඟ වුණා…

‘සමනල දඩයම’ ඇගේ වෛරය වුණේ කොහොමද?
සමනල දඩයම වැඩ අවසන් කරලා මාධ්‍ය දර්ශනයකුත් තිබුණා. මට මතකයි මාධ්‍යවේදීන් වගේම ඇමැතිවරයකුත් චිත්‍රපටය බලන්න ඇවිත් හිටියා. ඒ චිත්‍රපටය බලපු අය අතර හිටිය තව කෙනෙක් තමයි සුනිල් ටී. කියන්නේ. ඔහු තමයි ඒ හපන්කම කළේ.
සමනල දඩයම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්ද?
නෑ… පොඩි ළමයින්ටත් බලන්න පුළුවන් විදියේ චිත්‍රපටයක්. ඒක කරන්න හේතුව වුණේ කාත්තා දූෂණය පිටුදකින්න. කවදත් මම කාන්තා දූෂණය හෙළා දැකපු කෙනෙක්. සමස්ත කාන්තාවන් වෙනුවෙන් තමයි මම ඒ චිත්‍රපටය කළේ…

එතකොට ලිංගික දර්ශන ඇතුළත් වුණේ කොහොමද?
මම මුලින් කිව්වානේ සුනිල් ටී. චිත්‍රපටය බලන්න ආවා කියලා. ෆයිසර් මක්කම යන්න චිත්‍රපටය සුනිල් ටීට විකුණලා. කොහොම හරි සෝනියා දිසා සමාගම චිත්‍රපටය ඩැහැගත්තා. ඊට පස්සේ අඩුපාඩු හදන්න කියලා මගෙන් ලිඛිත අවසර ඉල්ලුවා… හොයලා බලන්නෙ නැතුව මමත් අවසර දුන්නා…
ඒ අවසරයෙන්ද ලිංගික ජවනිකා චිත්‍රපටයට එකතු වුණේ…?
ඔව්. කාන්තාවන්ගේ නොපෙන්විය යුතු තැනුත් පෙන්නලා තිබුණා. මට කිව්වේ ස්ත්‍රී දූෂණය වෙනකොට කකුල්, පිට පේන්න දර්ශන එකතු කරනවා කියලා… ඒකට වෙන කෙනෙක් ගන්නවා කියලයි කිව්වේ… මම නෙවෙයි නේ. ඒකයි මම අවසර දුන්නේ… ඒත් හරි කැත විදියට එයාලා ඒ අවසරයෙන් කාන්තා නිරුවත ප්‍රදර්ශනය කළා…
ඔබට ඊට විරුද්ධ වෙන්න තිබුණානේ…?
මම දැනගත්තේ පස්සෙනේ… සාක්‍ෂි නැතුව නීතිය ඉස්සරහට යන්න බෑනේ.

එහෙම තියෙද්දි ඇගේ වෛරය 2ටත් ඔබ සහභාගි වුණා.
ඒක ගිවිසුමක් නේ… මේ චිත්‍රපටයටත් ලිංගික දර්ශන ඇතුළත් කරන්න හදන්නෙ කියලා මට ආරංචි වුණා… මම රඟපාන්න බෑ කිව්වාම නඩු දානවා කිව්වා… අන්තිමට මට හරියට කන්නවත් දුන්නෙ නෑ. හරියට කෙනෙහිලිකම් කළා…
අන්තිමට ඔබ නඩු කිව්වානේ…?
ඔව්… මම නඩු කිව්වේ වන්දි ඉල්ලලා නෙවෙයි. ඒ ලිංගික දර්ශනවල රඟපෑවේ මම නෙමෙයි කියලා ඔප්පු කරන්නයි. චිත්‍රපටය නිෂ්පාදනයට මට ගිය වියදම ලබාගන්නයි. අන්තිමට සාක්‍ෂි නැතුව නඩුව වීසි වුණා.

සාක්‍ෂි නෑ කිව්වේ…?
චිත්‍රපට ශාලාවල පෙන්නද්දි තිබුණ ලිංගික දර්ශන උසාවියට යනකොට නෑ… ඉතින් කොහොමද ඔප්පු කරන්නේ?
චිත්‍රපටයට ගිය වියදම හම්බ වුණාද?
සුනිල් ටී තැන් තැන්වල කියනවා මට ලක්‍ෂ 5ක් දුන්නා කියලා. ඒත් එයාගේ හෘද සාක්‍ෂියයි, උඩ ඉන්න දෙවියොයි ඒක දන්නවානේ. සුනිල් ටී මට දුන්නේ ලක්‍ෂ 2ක් විතරයි. ඒත් චිත්‍රපට දෙකේ මගේ රඟපෑම වෙනුවෙන් විතරයි… මම නිෂ්පාදනයට වියදම් කරපු සල්ලි සතයක් දුන්නෙ නෑ. අන්තිමට මට තිබුණු සල්ලිත් නැති වුණා. මම නැත්තටම නැති වුණා… ඒ මදිවට පත්තරයක මම ගැන කැත විදියට ලිපියකුත් දාලා තිබුණා. මගේ ඇඟ වැහැරිලා එල්ලෙනවා… එයාව දැම්මා නම් චිත්‍රපටය දුවන්නෙ නෑ කියලා. ඒක මට කරපු ලොකු අපහාසයක් නේ. මම ඒකටත් නඩු දැම්මා.

ඒ නඩුවට මොකද වුණේ…?
අශෝක සේරසිංහ මහත්මයා තමයි ඒ නඩුව කතා කළේ… මගේ පළවැනි නඩුවත් ඔහු කතා කළා නම් මම දිනනවා… මොකද ඔහුට චිත්‍රපට කර්මාන්තය ගැන අවබෝධයක් තියෙනවා. මගේ පළවැනි නඩුව කතා කරපු නීතිඥ මහත්මයා උගත් බුද්ධිමත් නීතිඥයෙක්. හැබැයි සිනමාව ගැන දැනුමක් නෑනේ… ඒකයි වැරැදුණේ.
දෙවැනි නඩුවට මොකද වුණේ…?
පත්තරේට නඩු දාලා ලක්‍ෂ 5ක වන්දියක් ලබා දෙන්නත්, කරපු වැරැද්ද නිවැරැදි කරලා ලිපියක් පළකරන්නත් උසාවිය නියෝග කළා. පත්තරේට සිතාසි යවනකොට කර්තෘ මැරිලා. ඒ නිසා ඒ වන්දිය ගන්නත් බැරිවුණා. මගේ කරුමෙ තමයි ඉතින්.

සුනිල් ටී. එක්ක තරහින්ද ඉන්නේ…?
ලුවී කියන්නේ මම පුංචි කාලේ ඉඳන්ම දන්න කෙනෙක්. සුනිල් ටී පවුලේ හිතවතෙක්. එහෙම වෙලාත් මෙතැනදී එයාලා බැලුවේ බිස්නස් එක විතරයි. මානුෂීයව මගේ පැත්ත බැලුවේ නැහැ. මගේ ජීවිතයට මෙච්චර හානියක් කරලා තියෙද්දි තරහක් නොහිතෙනවානම් මම මනුස්සයෙක් නෙමෙයිනේ.

එදා ඉඳන් අද වෙනතුරු චන්දි රඟපෑවෙ නෑ…?
නෑ. විවාහ වුණෙත් නෑ. ඇගේ වෛරය නිසා බඳින්න හිටපු කෙනාත් එක්කත් ප්‍රශ්න ඇති වුණා. සමාජය මං දිහා වපර ඇහින් බැලුවා. ඊට පස්සේ මම විවාහයක් ගැන හිතුවෙත් නෑ. රඟපෑවෙත් නෑ.
දැන් කොහොමද ජීවත් වෙන්නේ…?
පුංචි ස්වයං රැකියාවක් කරනවා. ඒත් ඒක මගේ වියදමට ප්‍රමාණවත් නෑ. අක්කයි මස්සිනයි එක්ක මම ඉන්නේ. ඒ දෙන්නත් ලෙඩින් ඉන්නේ. නංගි ඇඹිලිපිටියේ. පොහොසත් නෑයන්ට අත දික්කරන්න මම කැමැති නෑ… නෑයොත් මට උදවු නොකරනවා නෙවෙයි. ඒත් හැම දේටම අතපාන්න බෑනේ.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ  මව්බිම පුවත්පතින්