වකුගඩු විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට වෛද්‍යවරුන් පිරිසක් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

එම වෛද්‍යවරුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.

සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරුන් හයදෙනා විදෙස්ගතවීමට හැකියාවක් ඇති බව විමර්ශනවලදී අනාවරණය වන බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම වෛද්‍යවරුන්ගේ විදෙස් ගමන් අධිකරණය මඟින් තහනම් කර තිබුණි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් හරහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත භාරදුන් දිලිඳු පුද්ගලයන් පිරිසකගේ වකුගඩු  එම රෝහල මගින් ඉවත් කර ඇති අතර එම වකුගඩු මෙරට හා විදෙස්ගත ධනවත් පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 120ත් 150 ත් අතර මුදලකට අලෙවි කර ඇති බවට කරුණු අනාවරණය වන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දන්වා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික මාධ්‍යයක් හරහා ප්‍රචාරය වීමෙන් අනතුරුව බොරැල්ල පොලිසිය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති අතර අනුව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම විමර්ශනය සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබු බව සඳහන්ය.