කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබේ.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ මෙම කොල්ලකරුවන් දෙදෙනා විසින් පානදුර සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී සිදුකළ පහරදීම්වලින් බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇත.

සැකකරුවන් දෙදෙනා ප්‍රථමයෙන් පානදුර ප්‍රදේශයේදී පෞද්ගලික දුරකථන සමාගමක සිම්පත් අලෙවි නියෝජිතයෙකු ලෙස සේවය කරන අයෙකුට පහරදීමක් සිදුකර ඇතිබව පොලීසිය පවසයි.

එහිදී සැකකරුවන් විසින් එම අලෙවි නියෝජිතයා සතුව තිබූ රුපියල් 39,000ක් වටිනා ජංගම දුරකථන කාඩ්පත්, මුදලින් රුපියල් 55,000ක් සහ රුපියල් 80,000ක් පමණ වටිනා ජංගම දුරකථනයක් පැහැරගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සිම්පත් අලෙවි නියෝජිතයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරුව එම සැකකරුවන් ත්‍රිරෝද රථයකින් බණ්ඩාරගම නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් වෙත පැමිණ එහි මුදල් තැන්පත් කිරීමට රැඳී සිටි අයෙකුට පහරදී තිබේ.

එම අවස්ථාවේ ගිනි අවි රැගෙන සිටි බැංකුවේ ආරක්ෂක නිලධාරීන් එක්වරම බැංකුවතුළට ගොස් දොරවල් වසාගෙන ඇත.

මන්නා ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ATM කුටිය තුළ වැටී සිටි පුද්ගලයා බණ්ඩාරගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පැමිණ කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබේ.

බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

කොල්ලය සිදුකර ඇති බවට සැකකරන පුද්ගලයින් දෙදෙනා අනතුරුව බණ්ඩාරගම නගර මාධ්‍යයට පැමිණ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය එහි අත්හැර දමා එම ස්ථානයේ සිටි තරුණයෙකුට මන්නා පිහි පෙන්වා බය ගන්වා ඔහුගේ යතුරුපැදිය රැගෙන පළාගොස් තිබේ.

එම අවස්ථාවේදී යතුරුපැදියේ පැමිණි තරුණයා විසින් සිය ජංගම දුරකථනයෙන් එම සැකකරුවන්ගේ ඡායාරූප කිහිපයක් ගෙන තිබේ.

කොල්ලකරුවන් බණ්ඩාරගම  නගරයේ දමා ගොස් ඇති ත්‍රිරෝද රථය කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවත් පැහැරගෙන ගිය යතුරුපැදිය බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවත් පොලිසිය සඳහන් කරයි.

පසුව සැකකරුවන් කළුතර මාර්ගයේ ගෝනදූව ඉන්ධන පිරහුම්හල වෙත ගොස් ඇති අතර එහිදී මන්නා පිහි දැකීමත් සමගම ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු දිවයාමට උත්සාහ දරා ඇත.

එහිදී සැකකරුවන් විසින් “උඹව කපන්න නෙමේ බං මේවා ගෙනාවේ මේ ගෙදර ගෙනියන ඒවා…වරෙන් වරෙන් අපි ආවේ පෙට්‍රල් ගහන්න” යනුවෙන් පවසා තමන් සන්තකයේ තිබූ මන්නා පිහි විසිකර දමා ඉන්ධන ලබාගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙලෙස පළාගිය කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරගම පානදුර අඟුරුවාතොට පොලීස් කණ්ඩායම් තුනකට අමතරව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්ද යොදවා ඇත.