මොරගහහේන ගොඩිගමුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සිටි වයස අවුරුදු 07ක දැරිය  හමුවී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (13) උදෑසන සිය නිවසේ සිටියදී මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණි.

දැරියගේ මව මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.

පැමිණිල්ල සිදුකළ දැරියගේ මව ඇයගේ ස්වාමි පුරුෂයා, දරුවන් දෙදෙනා සිය මව හා සැමියාගේ නැගණිය අදාළ නිවසේ වාසය කර තිබේ.

සැමියාගේ නැගණිය පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඔවුන් අතර අමනාපයක් ඇතිවීම හේතුවෙන් ඊයේ උදෑසන මෙම නිවසට පැමිණි සැකකාර පෙම්වතා කුඩා දැරියව පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව පැමිණිල්ල ඉදිරිපත් කර ඇති කාන්තාවගේ සැමියාගේ නැගණිය වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් සැකකරු පවසා ඇත්තේ දැරියට කරදරයක් සිදුකිරීමට පෙර ඇයට ඔහු වෙත පැමිණෙන ලෙසටය.

අනතුරුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශයේ CCTV දර්ශන ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අතරතුර පැමිණිල්ල ඉදිරිපත් කර ඇති කාන්තාවගේ සැමියාගේ නැගණිය කැස්බෑව ප්‍රදේශයේ සැකකාර පෙම්වතා සිටි ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් කුඩා දැරිය පැමිණිලිකාරියගේ ඥාති නිවසක දමා ගොස් ඇත.

එහි පැමිණි පොලීසිය දැරිය සිය මවගේ භාරයට පත්කිරීමෙන් අනතුරුව හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකාර පෙම්වතා විසින් රැගෙනගිය කාන්තාව සහ එම සැකකරු සොයා මොරගහහේන පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.