මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැඩි පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.

ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් අද අලුයම 05.05 ට දිවයිනට පැමිණ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු පමණක් ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා මෙලෙස දිවයිනට පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් ඔවුන්ට පිටව යාම සඳහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණද, බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට වෙනදාට වඩා වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබූ බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිටව යෑමට පෙර කියා සිටියා.

මේ පිළිබඳ අනාවරණයක් තවත් දින දෙකකදී මාධ්‍ය වෙත සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.