කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි මංසංධිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරින් 17 දෙනෙකු තුවාල ලබා තිබුණු අතර ඉන් 9 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එම 9 දෙනා අතරින් 5 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ගය සඳහන් කළේ ය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ, සෙසු තුවාලකරුවන් සිව් දෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, මගීන් 5 දෙනෙකු මිය ගිය බවට තොරතුරු වාර්තා වුව ද එය මේ දක්වා තහවුරු කළ නොහැකි බව ය.

අනතුරින් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වූ බව ද ඔහු සඳහන් කළේ ය.