2023 ආසියානු කුසලානයේ ශූර‍යින් බවට පත්වීමට අසල්වාසී ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරමින්.

ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ කඩුලු 10කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පිතිකරණය තෝරාගත්ත ද, ඇසිපිය ගසන සැණින් කඩුලු 4-5ක් දවා ගන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායම හමුවේ කණ්ඩායමක් ලද අඩුම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය සඳහා ඉන්දියාවට හිමිවූයේ ලකුණු 50ක් පමණි.

ඉතාමත් පහසුම අගයක් හඹා යාමට පිටියට ආ ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් දෙපළ වන ඉෂාන් කිෂාන් සහ ශුබ්මන් ගිල් තරගය පන්දුවාර 06කුත්ෙක් පන්දුවක් තුළ දී තම රටට ආසියානු කුසලානය රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම ලබා දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ දී මෙලෙස ගිලිහී ගියේ සිය සත්වැනි ආසියානු කුසලානය වන අතර, ඉන්දීය කණ්ඩායම දෝතට ගත්තේ ඔවුන් දිනූ 8 වැනි ආසියානු කුසලානයයි.

ඉෂාන් කිෂාන් ලකුණු 23ක් ද ගිල් ලකුණු 27ක් ද අද තරගයේ දී නොදැවී ලබාගත්තා.

ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ මංගල ආසියානු කුසලානය ජයග්‍රහණය කළේ සුනිල් ගවස්කාර්ගේ නායකත්වය යටතේ වර්ෂ 1984 දියි.

පසුව 1988,1991,1995,2010,2016 සහ 2018 දී ආසියානු කුසලානය ඉන්දියාව තමන් සතු කරගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග මීට පෙර අවස්ථා 07ක දී ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

ඉන් තරග 04ක් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, තුනක ශූරත්වය ශ්‍රී ලංකාවට හිමිවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ශූරයින් බවට මුල් වරට පත්වන්නේ දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ 1986 වර්ෂයේදියි.

පසුව 1997,2004, 2008, 2014 සහ 2022 වර්ෂවල දි ද ආසියානු කුසලානයේ පහස ලබන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.

අද තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරණය සුනුවිසුණු කිරීමට වැඩිපුරම පන්දු බලඇණියෙන් දායකත්වය සැපයූවේ මොහොමඩ් සිරාජ්.

සිරාජ් සිය එක්දින දිවියේ ලබාගත් හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 21කට කඩුලු 07ක් බිඳ දැමුවා.

හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 03කට කඩුලු 03ක් සහ බුම්රා නමින් එක් කඩුල්ලක් ලියැවුණා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහා තරගයක් වේලාසනින්ම අවසන් වූයේ නම්, එය නිසැකව ම අද පැවති මෙම ආසියානු කුසලාන අවසන් මහා තරගය බවට නම් කිසිදු සැකයක් නැහැ.

තරගයේ වීරයා සම්මානය සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් ලකුණු 21කට කඩුලු 06ක් බිඳ දැමූ මොහොමඩ් සිරාජ් වන අතර, මෙම තරගාවලිය පුරා ම කඩුලු 09ක් දවා ගත් කුල්දීප් යාදව් ආසියානු කුසලාන තරගාවලියේ වීරයා බවට පත් වුණා.