දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් මෙම තරුණයා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණි ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොහු රාගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති අතර අධික තදබදය හේතුවෙන් දුම්රිය වහලය මතට නැඟ තිබේ.

ඒ අනුව හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී තරුණයා ගසක හෝ වයරයක ගැටී දුම්රියෙන් ඇද වැටීමෙන් මිය ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

දුම්රිය රියදුරන් මේ වන විට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද උදෑසන සිට මේ දක්වා දුම්රිය 20ක් පමණ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් ධාවනය වන දුම්රිය තුළ දැඩි මගී තදබදයක් පවතින බව වාර්තා වේ.