උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණීය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 21 හැවිරිදි තරුණියගේ සිරුරු කොටස් විශේෂ පරීක්ෂණයක් සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණාගාරය වෙත යොමු කර තිබෙනවා.

මෙම තරුණිය ඉකුත් 10 වනදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී ඇයට එන්නත් 02 ක් ලබාදී ඇති අතර පසුව හදිසියේ රෝගාතුර වී මියගිය බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහල පැවසුවේ.

අදාළ තරුණියට ලබාදී ඇත්තේ උදරාබාධ සඳහා ලබාදෙන එන්නතක් බවත්, එහි යම් සංකූලතාවක් ඇතිවූයේ දැයි සැකයක් පවතින බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග පවසනවා. 

සෞඛ්‍ය පද්ධතියේ පවතින සැබෑ ගැටළුව කුමක්දැයි දැන් හෝ සොයා ගත යුතු බවයි වෛද්‍ය රසායානගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ. 

මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද සිදුකර තිබෙනවා.

පේරාදෙණීය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රභාත් සේනසිංහ එහිදී නියෝග කර ඇත්තේ තරුණියගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටයි.

මෙම තරුණියගේ හදිසි මරණය සම්බන්ධයෙන් ඇගේ මව්පියන් විසින් පේරාදෙණිය පොලිස් ස්ථානයට ද පැමිණිලි කර තිබෙනවා.