මෙවර අයි පී එල් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ සිව්වරක් අයි පී එල් කිරුළ දිනා සිටින චෙන්නායි සුපර් කිංග්ස් සහ පසුගියවර ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

ඊයේ රාත්‍රියේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි  ක්‍රීඩාංගණයට අඛණ්ඩව ඇදහැළුනු වර්ෂාව හේතුවෙන් එම තරගය ඒ සදහා වෙන්කර තිබූ අතිරේක දිනය වන අද දිනයේ පැවැත්වීමට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ අනුව ඊයේ දිනයේ තරගය සදහා වෙන්කර තිබූ ප්‍රවේශපත්‍ර අද දිනට වලංගු වන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ.

කෙසේවෙතත් අහමදාබාද් ප්‍රදේශයට අද දිනයේද වැසි ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි ඉන්දීය කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

අයි පී එල් තරග නීති අනුව රාත්‍රී 9.35 දක්වා කාලය තුළ තරගය ආරම්භ කළ හොත් පන්දුවාර විස්සම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනවා.

එතැන් සිට අලුයම 12 යි 6 දක්වා කාලය තුළ පන්දුවාර ගණන සීමා කරමින් තරගය පැවැත්වීමට හැකියාව පවතිනවා.

එසේ නොවුනහොත් සුපිරි පන්දු වාරයකින් මෙවර තරගාවලියේ ශූරයින් තීරණය කළ හැකියි.

යම් හෙයකින් එක් පන්දුවාරයක් හෝ යැවීමට නොහැකි වුවහොත් මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැද සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට මෙවර අයි පී එල් ශූරතාව හිමි වනවා.