බස් නැවතුම්පොළක රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිදුවියක් අද (20) අවාසනාවන්ත සිද්ධියකට මුහුණදී තිබුණි.

ඒ ඇය රැදීසිටි ස්ථානයට එකවරම කඩාවැදුණු ජීප් රථයක් ඇයව යට කරගෙන ගොස් සිදුවූ අනතුරක් හේතුවෙනි.

අනතුරෙන් අදාළ සිසුවිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද (20) උදෑසන එම අනතුර සිදුවී තිබුණේ කුරුණෑගල, උහුමීය, ඩී.එස්. සේනානායක විදුහල ඉදිරිපිටදීය.

එම අනතුරෙන් මියගොස් ඇත්තේ, ඩී.එස්. සේනානායක මැදි විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි අමෝද්‍යා සිතුමිණි රාජගුරු නමැති 17 හැවිරිදි සිසුවියකි.

ඇය උහුමීය පිදුරුවැල්ල, රත්මලේ උයනේ පදිංචිව සිටි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවාය.

සිසුවිය පෞද්ගලික පන්තියකට සහභාගී වීම සඳහා  කුරුණෑගලට යාම සඳහා බසයක් එන තුරු බස් නැවතුම්පොලේ රැඳී සිටියදී එම අනතුරට ලක්වී ඇත.

මාර්ගයේ ගමන් කළ ජීප් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා‌ ගොස් සිසුවියද යට කරගෙන ගොස් දුරකථන රැහැන් කණුවක ද ගැටී නතරවී තිබුණි. 

රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

අදාළ අනතුර සම්බන්ධ‌යෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පිළියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.