මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහළට පැනීම හේතුවෙන් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මෙම ශිෂ්‍යාව ඊයේ (මැයි 9) පෙරවරු 11.30ට පමණ පාසල් පන්ති කාමරයෙන් පිටතට පැමිණ අඩි 15ක පමණ උසක සිට බිමට පැන තිබෙන බව පොලිසිය පවසයි.

පාසලේ ශිෂ්‍ය නායිකාවක ද වන එම සිසුවිය කටුගස්තොට, කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි බව පොලිස් පරීක්‍ෂණ මගින් අනාවරණය වී ඇත.

අදාළ සිසුවිය මහනුවර ජාතික රෝහලේදී සී.ටී. ස්කෑන් පරීක්‍ෂාවකට ලක් කර තිබේ.

අඩි 15ක පමණ උසක සිට පහළට ඇද වැටීම නිසා සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයවවලට හානි සිදුව ඇත් ද යන්න සෙවීම සඳහා අදාළ සී.ටී. ස්කෑන් පරීක්‍ෂාව සිදු කළ බව ත් එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බව ත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍යවරයෙක් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.සී. රාජපක්‍ෂගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදුකරයි.