2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාය ම අද (සැප්. 11) සමත් විය.

ඒ, ඩුබායිහිදී පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි.

එය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් 6 වන ආසියානු කුසලානය ලෙසවාර්තා අතරට එක් වෙයි.

ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්තානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තේ ය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ හයේ පහර 3ක් හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත් විය.

වනිඳු හසරංග ලකුණු 36ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 28ක් රැස් කළේ ය.

පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී හැරිස් රවුෆ් කඩුලු 3ක් දවා ගත්තේ ය.

පකිස්තානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.

පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් රැස් කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් රැස් කළේ ය.