හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ආරක්‍ෂා සහිතව මෙරටට පැමිණ සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදුන්ගමුවේ විජය මෛත්‍රී නාහිමිපාණන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනතාව සතු මුදල් අයථා ලෙස පරිහරණය නොකළ අයෙකු බවත් අමෙරිකානු පුරවැසිභාවයද අත්හළ අයෙකු බවත් අනුනාහිමියන් සිය ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

තනතුරෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල වුවද රටින් පිටව යන ලෙස හිටපු ජනාධිපතිවරයාට කිසිවෙක් ප්‍රකාශ කර නොමැති බවයි පූජ්‍ය නැදුන්ගමුවේ විජය මෛත්‍රී නාහිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.