හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය ඇරඹීමේ උත්සවයට විරෝධය දක්වමින් සිටි පිරිස් පොලිසිය විසින් විසුරවා හැරීමේදී සහ පොලිසිය සමග ගැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 21  දෙනෙකු පමණ රෝහල් ගතකර ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. තුවාල ලැබූවන් අතුරෙන් තිදෙනෙක් පොලිස් නිලධාරීන් බවයි පැවසෙන්නේ.

උද්ඝෝෂණ සහ වෙනත් විරෝධතා මැද දක්ෂිණ සංවර්ධන සැලැස්ම මීට නොබෝ වේලාවකට පෙර එළිදැක්වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණු බවයි.
15826267_412311335768134_1867349408601033624_n
උත්සව පරිශ්‍රයට විරෝධතාකරුවන් ඇතුළු වීම වැළැක්වීම සඳහා පොලිස් මාර්ග බාධක යොදා තිබුණා. කෙසේ වෙතත් එම මාර්ග බාධක මගහරිමින් විරෝධතාකරුවන් උත්සව පරිශ්‍රයට ළඟා වි තිබෙනවා.

විරෝධතාකරුවන් සහ උත්සව පරිශ්‍රයේ සිටි පිරිස් අතර ගැටුමක් ද ඇති වී තිඛෙනවා. එම ගැටුම පාලනය කිරීම සඳහා පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කළ බවයි වාර්තාවන්නේ.

හම්බන්තොට වරාය පරිශ්‍රය, ගුවන් පාලම ආශ්‍රිත ප්‍රදේශය, පරිපාලන ස්ථාන සහිත ප්‍රදේශ සහ මහාමාර්ගවල දින 14ක් යන තෙක් උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් ඊයේ අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරුණා. පොලිසිය කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කළේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
15894423_412307722435162_4696990714698198144_n
මෙ අතර හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය ඇරඹීමට විරෝධය දක්වමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 21 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට පත් 19 දෙනකු අම්බලන්තොට පොලිසිය මගින් සහ දෙදෙනකු හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නෙ.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සිරිපාල ජයවීරගේ පුතුද අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් රියකට ප්‍රහාරයක් එල්ල කිරීම ඊට හේතුවී තිබෙනවා.