බලය වෙනුවෙන් අරගල කරන කිසිවෙකුටත් 2020 පසුව එන මැතිවරණයකදී මිස වෙනත් විකල්ප ක්‍රම වලින් ඒ සඳහා ළඟා විය නොහැකි බවත් රට කරවන්නට බහුතර ජනතා කැමැත්ත හිමි විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. සියලූදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනඟමින් ජනතා ගැටලු සඳහා තිරසර විසඳුම් ලබා දීමට යැයිද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් කළ යුත්තේ මැතිවරණ සමයන්හිදී බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතා කැමැත්තෙන් තේරී පත්වූ නව රජයට ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා සහාය දිය යුතු බවද පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙය අවස්ථාවක් නොවන බවද පැවසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ මොනරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට පෙරේදා(28) එක් වෙමිනි.