2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී  පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා කල ඉල්ලීමකට අනුව නඩුව  පෙබරවාරි මස 28 වනදා කැඳවීමට නියම කළේය.

එදින නඩුව විභාග කරන දිනය නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් ඇයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.

මෙම චෝදනාව එල්ල වී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් හත්දෙනෙකු මුලින්ම අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණි.