මහනුවර, නුවරඑළිය, අනුරාධපුර ඇතුළු රට පුරා ඇති ජනාධිපති මන්දිර අධිසුඛෝපභෝගී හෝටල් බවට පත්කර ඉහළ පෙළේ සංචාරකයන් සඳහා විවෘත කරන්නැයි සංචාරක රියැදුරු මාර්ගෝපදේශන කථිකාචාර්යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි.

අතිවිශාල මුදල් වැය කරමින් කාර්ය මණ්ඩලයක් ද සහිතව නඩත්තු කරමින් පවතින මෙම මන්දිරවලට ජනාධිපතිවරයා වසරකට වරක්වත් නොයන අවස්ථා ඇතැයි ද එවැනි තත්ත්වයක් යටතේ මෙම මන්දිර නඩත්තු කිරීම ජනතා මුදල් නාස්ති කිරීමක් බව ද සංචාරක රියැදුරු මාර්ගෝපදේශන කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති රංජිත් සුදසිංහ පැවසීය.

වසරකදී මෙම ගොඩනැගිලි නඩත්තුව සඳහා වැයවන මුදල හා සැසඳීමේදී රාජ්‍ය නායකයෙකු එහි නැවතීමට බලාපොරොත්තු වන දින ගණන අදාළ ප්‍රදේශයේ තරු පහේ හෝටලයක එක් පැත්තක් වෙන් කළ ත් පාඩු නොවන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

අතීතයේ මාර්ග පහසුකම් හිඟව පැවති සමයේ රාජ්‍ය නායකයන්ට නැවතීමට ඉදිකර ඇති මෙම මන්දිර අතිනවීන ප්‍රවාහන පහසුකම් පවතින මේ යුගයේදී අවශ්‍ය නොවන බව ත් ඉක්මනින් ම ඒවා පිළිබඳ යම් පියවරක් ගත යුතු බව ත් රජයට යෝජනා කරන බව සභාපතිවරයා කියා සිටියේ ය.