කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ.

අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුණි.

සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රිය අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන අයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ පියා වසර ගණනාවකට පෙර එවකට හිටපු පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් මත ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස ස්වේච්චාවෙන් පොලිස් රෝහලේ සේවය කර ඇති බව පොලීසිය පවසයි.

එහිදී එම වෛද්‍යවරයාට උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලය ලබාදී ඇත.

කෙසේවෙතත් මෙම වෛද්‍යවරයා මීට වසර ගණනාවකට පෙර පොලිස් රෝහලේ සේවයෙන් ඉවත්වී ඇති බවද පොලීසිය පවසයි.