කොළඹ නාගලගං වීදිය, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාඹරේ මාවත ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා.

කෙසේවෙතත් මරදාන – සුදුවැල්ල ඉමාමුල් අරූස් මාවත, මහනුවර – අකුරණ සහ බේරුවල – පන්නිල හා චීනකොටුව යන ප‍්‍රදේශ හුදෙකලා කරමින් පනවා තිබූ දැඩි සංචරන සීමා ඊයේ (03) ඉවත් කෙරුණා.

මෙලෙස සීමා ලිහිල් කිරීම සැහැල්ලූවක් ලෙස නොසලකන ලෙසයි එම ප‍්‍රදේශවල වැසියන්ගෙන් රජය නැවත ඉල්ලා සිටින්නේ.

ප‍්‍රදේශවාසීන් සෞඛ්‍ය උපදෙස් ගරු නොකරන්නේ නම් පැවති සීමා යලි පැනවීමට සිදුවන ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනාරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ජනතාව යළිත් පරණ පුරුදු ලෙස හැසිරෙමින් ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි. අවදානම නොතකා ජනතාව යළිත් කටයුතු කරන්නේ නම් අවදානම තවදුරටත් පහව නොයනු ඇති බවයි පෙන්වා දුන්නේ.

මේ අනුව කරුණු දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද සඳහන් කළේ ඇඳිරි නිතිය ඉවත් කර තිබෙන ප‍්‍රදේශවල වැසියන්ද තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කළ යුතු බවයි.

සේවා ස්ථාන වලදී ද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට කටයුතු කළ යුතු බවයි  මෙහිදී අවධාරණය කෙරුණේ. 

මේ අතර රටපුරා නිදහස් වෙළද කලාපවල කර්මාන්තශාලා 244ක මෙහෙයුම් යලි ආරම්භ වී තිබෙනවා. කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 62ක්, බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 52ක් සහ උතුරේ හා නැගෙනහිර කර්මාන්තශාලා 22ක්ද ඊට ඇතුළත්.

සේවක සේවිකාවන් 46,000 පමණ මෙම කර්මාන්තශාලාවල සේවයේ යෙදී සිටිනවා. සෑම කර්මාන්තශාලාවක්ම සෞඛ්‍ය උපදෙස් අනව පවත්වාගෙන යාම අනිවාර්යය බවයි ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.