ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‍මහතා වෙනුවෙන් නීතිපතිවරයා, ‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පිරමිඩ් විල්මා සමාගම, එහි සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ, සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය ශත 25ක් දක්වා අඩු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුවී ඇති බවය.

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ විසින්ද පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කර ඇතැයි පෙන්වා දෙන සුනිල් හඳුන්නෙත්ති මහතා රජයට හිතවාදී ව්‍යාපාරිකයින් පිරිසකට සහන සලසාදීම සඳහා මෙලෙස බදු ප්‍රතිශතය අඩු කළ බවද සඳහන් කරයි.