අනුරාධපුර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන යන බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු හදුනාගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාරය පවසනවා. 

ඔවුන් පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බවද ප‍්‍රකාශ කෙරුණා. මෙම පිරිස පිළිබද බන්ධනාගාර මූලස්ථානයද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පිරිසෙන් එක් අයෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනේ බන්ධනාගාරගත සිරකරුවෙකු හරහා බන්ධනාගාරය තුළට හොරොයින් යැවීමට උත්සාහ කිරීමේදීයි. 

එහිදී සොයා ගැණුනු හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 4 යි මිලිග‍්‍රෑම් 820 ක් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. අදාළ සිරකරුවාටද පානය කිරීමට හෙරොයින් ලබාදි ඔහු හරහා බන්ධනාගාරය තුළට හෙරොයින් යැවීමට තැත් කළේ එහි සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයෙක්.

මේ අතර මීගමුව බන්ධනාගාරය තුළට ආහාර සහ වෙනත් ද්‍රව්‍ය රැගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයෙකු එම බන්ධනාගාරයට යොමුකර තිබෙනවා. 

ඒ, බන්ධනාගාර මූලස්ථානය විසින්. කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ ව්‍යාප්තවීම නතර කිරීමේ අරමුණින් සියළු බන්ධනාගාරයන්ට ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය පිටතින් ලබාගැනීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. 

එවන් පසුබිමක මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැදවියන්ට අවශ්‍ය ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ ඇතැම් බන්ධනාගාර නිලධාරීන් හරහා බන්ධනාගාරය තුළට රැගෙන යන බවට බන්ධනාගාර මූලස්ථානය වෙත පැමිණිලි ලැබී තිබුණා. 

ඒ බව සැලකිල්ලට ගනිමිනුයි බන්ධනාගාර කොමසාරිස්වරයෙකු මීගමුව බන්ධනාගාරයට යොමුකර ඒ පිළිබද සොයා බැලීමට බන්ධනාගාර මූලස්ථානය විසින් කටයුතු කර ඇත්තේ.