බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවන බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

ශී‍්‍ර ලංගම බස් රථවලටත් පෞද්ගලික බස් රථවලටත් මගීන් ගෙන යාමට මේ දිනවල අවසර දී ඇත්තේ ආසන ගණනට පමණයි. කොවිඞ් 19 වසංගතය සැලකිල්ලට ගෙන පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමේ පියවරක් ලෙස සෞඛ්‍ය උපදෙස් අනුව එම තීරණය ගෙන තිබෙනවා. 

එහෙත් ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීම ප‍්‍රවේශපත‍්‍රයක් මිලට ගන්නා සෑම මගියෙකුටම තිබිය යුතු අයිතියක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

මෙතෙක් නොසලකා හැර තිබූ එම මගී අයිතිය ඉදිරියේදී තහවුරු කරන බව අමාත්‍යවරයා පැවසුවා. බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යායුතු බවට නීතියක් පනවන්නේ ඒ අනුව බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.