356_1356_2
මම ආකර්ෂණය වුණේ ඇගේ ගති ගුණවලට – සාරංග දිසාසේකර

ගමේ පාලම හදන්නට ගමට එන තරුණ ඉන්ජිනේරු මහත්තයාට ගමේ අය කියන්නේ “පාලම් මහත්තයා කියලා”. ඒ ගමේ හිටපු ලස්සන ගෑනු ළමයෙක්ට වෙච්ච අසාධාරණයකදී පාලම් මහත්තයා ඇයට පිහිට වෙනවා. මුලදි ඔහුගේ හිතේ ඇය ගැන තියෙන්නේ අනුකම්පාවක්. ඒ අනුකම්පාවට ඔහු ඇයට උදවු කරනවා. පාලම් මහත්තයාගේ ඇල්ම බැල්ම මැද්දේ සුජාතා සිසිපබා එහෙමත් නැත්නම් අර ගමේ ලස්සන කෙල්ල හොඳින් ඉගෙන ගන්නවා. අන්තිමට අනුකම්පාව ආදරයකට පෙරළිලා පාලම් මහත්තයා ඇයට ආදරය කරනවා. හුඟක් බාධක ආවත් ඒ හැම බාධකයක්ම ජය ගන්න තරම් දෙදෙනාගේ ආදරේ ප්‍රබල වෙනවා. ඒ ආදරේ ඒ තරමටම බොහොම ආදරණීය ආත්මගත බැඳීමක්. හරියටම මීට වසර හතකට කලින් “සඳවත සේයා” ටෙලි නාට්‍යයේ හිටපු පාලම් මහත්තයාගෙයි ගමේ කෙල්ලගෙයි ආදර කතාව එතැනින් නම් නිමා වුණා කියලා ප්‍රේක්‍ෂක අපි හිතුවා. ඇත්ත. ඒ කතාව එතැනින් නිමා වුණා. ඒත් පාලම් මහත්තයා වුණු සාරංගගෙයි සිසි පබා වුණු උමාලිගෙයි සැබෑ ආදර කතාව පටන් ගත්තේ ඒ නවත්තපු තැනින්.

ඒ ආදරය මල්ඵල ගැන්විලා හෙට අනිද්දා දෙන්නා දෙමහල්ලො වෙනවා. අපි අවුරුදු හතක් ආපස්සට ගිහින් ඒ කතාව පටන් ගන්නා තැනට ආයෙමත් ආවා. ඒ දෙන්නාගේ ආදරයේ දිග පළල හොයන්න නෙවෙයි. අපි නොදන්න තැන් ඒ ජීවිතවල හොයාගන්න.

උමාලිගෙන්ම කතාව පටන්ගමුකො. රංගනයෙන් ඔයා සාරංගට වඩා වැඩිමහල්නේ. මෙච්චර නළුවො සිටිද්දි සාරංගටම හිත ගියේ කොහොමද?
මගේ හිත ගියේ සාරංග කියන නළුවට නෙවෙයි සාරංග කියන තරුණයාට. සාරංග අයියාව මට මුණගැහුණෙ “සඳවතක සේයා” නාට්‍යයේ මුහුරත් උළෙල දවසේ. ඊට කලින් මාත් එක්ක රඟපාන්නේ සාරංග අයියා කියලා කිව්වාම සාරංග කවුද කියලා මම හොයල බැලුවා. එතකොට මම සාරංග අයියා රඟපාපු පිපි පියුම් ටෙලි නාට්‍ය බලලා තිබුණෙ නෑ. හැබැයි දවසක් “හත්දින්නත් තරු” වැඩසටහනේදී මම අයියාව දැක්කා. ඊට පස්සේ මම පිපි පියුම් නාට්‍යයේ නැවැත විකාශය බැලුවා. ඒ වගේම සාරංග කියන්නේ කාගෙ කවුද කියල මට කීප දෙනෙක්ම කියලා තිබුණා.
තිරයේ පෙම්වතිය මිසක් සැබෑ ජීවිතයේ පෙම්වතිය වෙන්න නෙවෙයිනේ ආරාධනා ලැබුණේ. ඉතින් ඔය තරම් හොයල බැලුවේ හිතේ පුංචි කැමැත්තක් තිබුණ නිසාවත්ද?
අනේ නෑ. එතකොට මම අයියාව දන්නෙ නැති නිසයි හොයල බැලුවේ.

ඔය මුහුරත් උළෙලට කලින් සාරංග උමාලි ගැන දන්නවාද?
මට මතකයි මම උමාලි රඟපාපු සෙනෙහසේ ගීතය දැකලා තිබුණා. ඒ රඟපෑම ගැන මගේ පුංචි පැහැදීමකුත් තිබුණා. හැබැයි මමත් උමාලිව හැබෑවටම දැක්කෙ මුහුරත් උළෙල දවසේ.

දැකපු ගමන් හිත ගියාද සාරංග?
පුංචි ආකර්ෂණයක් නම් තිබුණා. කොහොමහරි රූගත කිරීම් වලදි අපි දෙන්නටම තාත්වික ලෙස රඟපාන්න බැරි තරම් අමුතු හැඟීමක් ඇති වුණා. ඒක අපි දෙන්නට විතරක් නෙවෙයි අනිත් අයටත් දැනිලා තිබුණා.

ඇත්තද උමාලි මේ කියන්නේ?
විශේෂත්වයක් දැනුණා තමයි. ඒත් මම නොදැනෙනවා වගේ ඉන්න උත්සාහ කළා.

හැඟීම් ප්‍රකාශ කරන්න කවුද ඉස්සර වුණේ?
සාරංග අයියා.

අපි දන්න විදියට නම් රූගත කිරීම් ඉවර වෙන්න කලින් දෙන්නා පෙම්වතුන් වෙලා ඉවරයි?
කොහොමද දන්නේ? ඔව්. ඒක ඇත්ත.

උමාලි ඔය ආදරයක් ඉස්සරහ සසල වුණාමද?
මේ තරම් නම් සසල වෙලා නෑ. මීට කලින් අපි දෙන්නාගෙම හිත් වෙන වෙන තැන්වල නතර වෙලා තිබුණා. ඒත් මේ හමුවීම, මේ බැඳීම ඊට වඩා හුඟක් වෙනස්.

උමාලි ළඟ හිත නතර වෙන්න ඇත්තටම උමාලි තුළ තිබුණ විශේෂ සුදුසුකම මොකක්ද සාරංග?
උමාලි කියන්නේ හුඟක් දක්‍ෂතා තියෙන කෙනෙක්. රඟපාන්න, ගායනා කරන්න, නර්තනයට ඇය දක්‍ෂයි. ඒ හැමදේටම වඩා මම ප්‍රිය කරන ගතිගුණ හුඟාක් ඇය ළඟ තියෙනවා.

උමාලිට ඔයාගෙ අම්මාගේ හැඩහුරුකම් තියෙන නිසා සාරංගගේ හිත යන්න ඇති කියලා සමහරු කියනවා?
දැන් නම් නිවී සැනසිල්ලේ කල්පනා කරන කොට ඒ කතාවෙත් වරදක් නෑ. හැබැයි එදා මට එහෙම හිතුණෙ නෑ. උමාලිත් කියනවා එයාගෙ තාත්තා තරුණ කාලේ මගේ දැන් පෙනුමට සමානයි කියලා.

ආදරයට බාධා ආවෙ නැද්ද උමාලි?
නැත්තෙමත් නෑ. ඒත් දරුණු නෑ.

උමාලි ගැන දැනගත්තහම අම්මා මොනවද කිව්වේ?
මං උමාලි ගැන කොහොම කිව්වද කියලා මතකයක් නම් නෑ. හැබැයි සුබවාදී ප්‍රතිචාරයක් මිස අසුබවාදී ප්‍රතිචාරයක් නම් ලැබුණේ නෑ. මම මගේ ජීවිතය ගැන තීරණ හරියටම ගනී කියන විශ්වාසය අම්මාට තිබුණා.

සාරංගයි අම්මයි (තිලකා රණසිංහ) අතර ඇති බැඳීම හුඟක් ප්‍රබලයි උමාලි. ඒ බැඳීම ඉදිරියටත් ඒ විදියට තියෙන්න ඔයාගෙ සහායත් ඕනෑ නේද?
මට කවදාවත් අයියාගේ අම්මා පිට කෙනෙක් විදියට දැනිලා නෑ. මම අම්මා දැකපු දවසෙ ඉඳන් කතා කළේ “අම්මා” කියලා. අම්මෙක් සහ පුතෙක් අතර බැඳීම ගැන මම හොඳටම දන්නවා. ඒ වගේම ඒ අම්මටත් මම දුවෙක් මිසක් ලේලියෙක් නෙවෙයි කියලා මම දන්නවා.

සාරංග මොකද ඒ ගැන කියන්නේ?
මට ඉන්නෙ අම්මා විතරයි. අම්මට ඉන්නේ මං විතරයි. උමාලි ඒක තේරුම් අරගෙන ඉන්නේ. අම්මට දුවෙක් නැති අඩුව උමාලිගෙන් පිරිමහගන්න බව මට දැනිලා තියෙනවා. උමාලිගේ අම්මත් කියනවා එයාගෙ අම්මාට වඩා උමාලි අපේ අම්මට එකතුයි කියලා.

උමාලි විදෙස්ගත වෙන්න ගත්ත තීරණයට සාරංග කැමැති වුණාද?
මමත් ඒක කැමැත්තෙන්, අකැමැත්තෙන් ගත්ත තීරණයක්. අපි දෙන්නගේම අනාගතේ වෙනුවෙන්. කවදාවත් සාරංග අයියා මට සීමා මායිම් පනවලා නෑ. ඒ නිසා ඒ ගමන මම හිතේ සැනසීමෙන් ගියා.

ඒ ගමන ආදරයට බාධාවක් වුණේ නැද්ද?
වෙලාව නිසා සන්නිවේදනයේ අපහසුතා ඇති වුණා මිසක් ආදරයට නම් බාධාවක් වුණේ නෑ.

ඔයාගේ සැබෑ පෙම්වතා වුණාට සාරංග දැන් රිදී තිරයේත්, පුංචි තිරයේත් ජනප්‍රියම පෙම්වතා. පුංචි ඉරිසියාවක්වත් හිතෙන්නෙ නැද්ද?
එහෙම හිතෙන්නෙ ඇයි? ඒ රඟපෑම් විතරයි කියලා මම හොඳටම දන්නවානේ.

සාරංග විවාහ වෙන්නේ සම්මාන පිට සම්මාන ගන්න කාලේ. විවාහයෙන් පස්සේ ජනප්‍රියත්වය අඩු වෙයිද?
මම හිතන්නේ විවාහයෙන් පස්සේ ජනප්‍රියත්වය වැඩි වෙයි. මගේ පෞද්ගලික ජීවිතේ වෙනසක් වුණා කියලා මාව අතහරින්න තරම් මං වටා ඉන්න රසිකයෝ මෝඩ නෑ කියලා මං හිතනවා.

විවාහයෙන් පස්සේ ආයෙත් උමාලි ජපානෙට යනවා?
ඔව්. තව ටික කාලයක් මට එහෙ ඉන්න වෙනවා.

එතකොට සාරංග?
පසුගිය කාලේ මමත් හුඟක් කාර්යබහුල වුණානේ. පුංචි විවේකයක් ඕනෑ කියලත් හිතෙනවා. මටත් ටික දවසකට උමාලිත් එක්ක යන්න පුළුවන්. කොහොමටත් දැන් තෝරා බේරාගෙන වැඩ කරන්න ඕනෑ. ඕනෑවට වඩා කාර්යබහුල වෙන්න බෑනේ.

ඒත් විවාහයෙන් පස්සේ වැඩියෙන් උපයන්න ඕනෑ. තෝරා බේරාගෙන රඟපෑවොත් ආදායමට ප්‍රශ්නයක් වෙයි?
අපි දෙන්නම ක්‍ෂේත්‍ර දෙකක උපාධිධාරීන්. ඉගෙන ගන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් ඕනෑනේ. අනාගතයේ ව්‍යාපාරයකට යොමු වෙන්නත් පුංචි අදහසක් තියෙනවා.

විවාහ දවසෙ යුග ගීයක් ගයනවාලු නේද?
ඔව්. සංඛ දිනෙත් ඒ ගීතය නිර්මාණය කරලා දුන්නා.

“හුස්ම සිඹින්නම්” ගීතටයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවානේ?
ඔව්. අපේ පළමුවැනි යුග ගීතය. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විවාහයට කලින් මියුසික් වීඩියෝව එළිදක්වන්නත් හිතාගෙන ඉන්නවා.

අලුත් ජීවිතේ අලුත් බලාපොරොත්තු ගැනත් කියමුද සාරංග?
ටිකක් නෙවෙයි හුඟක් තියෙනවා. කොතැනින් පටන් ගන්නද කියලා තමයි හිතාගන්න බැරි නේද උමාලි?
සාරංග බොහොම ආදරණීයව උමාලිගෙන් ඇහුවා… ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා සාරංගගේත්, උමාලිගේත් යුග ජීවිතය සාර්ථක වේවා කියලා “හදගැස්මේ” අපි සුබ පතනවා.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ
ඡායාරූප – අසන්ත ගමආරච්චි